,
News

විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ට කොළඹින් මහල් නිවාස සංකීර්ණයක්

(RIVIRA.LK, 2020 ජුලි 06 පස්වරු 06.29ට)

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් සඳහා කොළඹ නගරයේ මහල් නිවාස සංකීර්ණයක් ඉදි කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජුලි 06 පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී ය.

ඉතිහාසයේ පළමු වතාවට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්ය මහාචාර්ය, කථිකාචාර්යවරුන්ට කොළඹ නගරය තුළින් මහල් නිවාස සින්නක්කර මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන එහිදී පැවසීය.

විශ්වවිද්‍යාල දරුවන්ට මෙන්ම ආචාර්ය, මහාචාර්ය, කථිකාචාර්යවරුන්ට ඇති ප්‍රශ්නයක් වන්නේ කොළඹ නගරයේ අවට නිවසක් නොමැති විම බව අමාත්‍යවරයා සඳහන් කරයි. එම හේතුවෙන්, දුර බැහැර ප්‍රදේශවල සිට පැය ගණනාවක් වාහන තදබදයට හසුවෙමින් දේශන පැවැත්විම සඳහා ඔවුන්ට පැමිණීමට සිදුව තිබෙන බවත් ඔහු එහිදී පැවසීය.

එමෙන්ම, කැළණිය, කොළඹ, ජයවර්ධනපුර, මොරටුව, සෞන්දර්යය කියන මේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු දහස් ගාණක් සිටින් බවත් ඔවුන්ට නිවාස නොමැති බවත් ඔහු අනාවරණය කළේ ය.

එම හේතුවෙන් ඔවුන් මෙම උග්‍ර ගැටළුව පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයාත් සමඟ ජුලි 06 වන දින පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත් වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ගැටළුවට විසඳුමක් ලෙස ඒ අනුව, ඉතිහාසයේ ප්‍රථම වතාවට පහසු ගෙවිමේ ක්‍රමය යටතේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට සින්නක්කර මිලදී ගත හැකි වන පරිද්දෙන් රජය මඟින් මහල් නිවාස සංකීර්ණයක්, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ඉදි කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසිය.

විශේෂයෙන් මෙම ගැටළුවට නාගරික සංවර්ධන අධිකාරියෙන් යම් කිසි මැදිහත් වීමක් සිදු කිරීමට අතිගරු ජනාධිපතිතුමාත්, අග්‍රාමත්‍යතුමාත් උපදෙස් ලබා දී තිබුණු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ය.

Rivira Ads
To Top