දේශීය පුවත්

රුසියානු කාන්තාවට හිරිහැර කළැයි 4ක් අත්අඩංගුවට

(RIVIRA.LK, 2020 ජුලි 06 පස්වරු 10.34ට)

කොළඹ, ගාලුමුවදොර ප්‍රදේශයේ දී තරුණයින් පිරිසක් විසින් විදේශීය කාන්තාවකට හිරිහැර කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ජූලි 06 දින පොලීසිය සඳහන් කළා.

කොළඹ, ගාලුමුවදොර ප්‍රදේශයේ දී තරුණයින් පිරිසක් විසින් තමන්ට හිරිහැර කළ බව දක්වමින් රුසියානු ජාතිකයෙකු වන කාන්තාවක් ෆේස්බුක් සටහනක් තබා තිබුණා.

එම කාන්තාව පවසන පරිදි අදාළ සිදුවීම ජූලි 05 දින රාත්‍රියේ සිදුව තිබෙනවා. තමා මුහුණ දුන් සිදුවීමට අදාළ වීඩියෝවක් ද තම ෆේස්බුක් ගිණුම හරහා ප්‍රචාරය කර තිබූ අතර එම වීඩියෝව සමාජ ජාලා තුළ වේගයෙන් බෙදා හැරෙමින් තිබුණා.

අදාළ කාන්තාව පවසන පරිදි ඇය සිය මිතුරන් තිදෙනෙකු සමග ගාලුමුවදොර පිටියේ ගමන් කරමින් සිටියදී තරුණයින් 10 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් තමන්ට හිරිහැර කළ බව සඳහන් කර තිබුණා.

එහිදී අදාළ තත්වය පාලනය කිරීම සඳහා ඊට මැදිහත් වීමට උත්සාහ කළ සිය මිතුරෙකුට ද තරුණයින් පිරිස පහරදුන් බව එම කාන්තාව කර තිබුණා.

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලකට අදාළව සිදුකළ පරීක්ෂණවලදී තරුණයින් සිව් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top