කොවිඩ්-19

දින 11කට පසු නාවික හමුදාවෙන් ආසාදිතයෙක්, වැලිකඩ ආසාදිතයාගේ ආශ්‍රිතයින් 600ක් හඳුනාගනී

(RIVIRA.LK, 2020 ජුලි 07 පස්වරු 07.55ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 07 අඟහරුවාදා පස්වරු 6.00 වන විට 2,080ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 07 දිනය තුළ නව ආසාදිතයින් 03ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 38ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

දැනට වාර්තා වූ ආසාදිතයින් 03 දෙනාගෙන්,

  • ඉතියෝපියාවේ සිට පැමිණි පුද්ගලයෙකු
  • නිරෝධායනයට ලක් වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයෙක්
  • වැලිකඩ බන්ධනාගාරයෙන් හමු වූ පුද්ගලයා ඇතුළත්.

ඒ අනුව දින 11කට පසු එනම් ජූනි 25 දිනයෙන් පසු යළිත් වරක් නාවික හමුදාවෙන් කොරෝනා ආසාදියෙකු හමු වී තිබෙනවා. එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ ආසාදිතයා නිරෝධායනයට ලක් වෙමින් සිටි අයෙකු නොවුනත් සමාජයෙන් වෙන් කර තැබූ ස්ථානයක් වන බන්ධනාගාරයක දී හමු වීම විශේෂත්වයක්.

මේ අතර වැලිකඩ ආසාදිතයා පෙර සිටි ස්ථානයේ ඔහු සමග සිටි කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටින 474 දෙනෙකු සහ එහි කාර්ය මණ්ඩලයේ 126 දෙනෙකුගේ ජෛව සාම්පල ලබාගැනීමට පියවර ගත් බව පුනරුත්තාපන කොමසාරිස් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සඳහන් කළා.

වැලිකඩ ආසාදිතයාගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ හා නිරෝධායන කටයුතු ජූලි 7 දින ආරම්භ කළ අතර රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද එම පිරිසට අතරට අයත් බව ජාතික බෝවන රෝග විද්‍යායතනය පවසනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,955කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 114 ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

දෛනික වාර්තාව – සක්‍රීය ආසාදිතයින් ගණන 112යි, සියයට 94ක් සුවයි

Rivira FB Group Rivira Youtube
To Top