,
Foreign

ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

(RIVIRA.LK, 2020 ජුලි 08 පෙරවරු 9.41ට)

ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බව නිල වශයෙන් දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

CBS පුවත් සේවය වාර්තා කරන පරිදි මේ වන විටත් සාමාජිකත්වයෙන් ඉවත් වීම සඳහා අවශ්‍ය ලියකියවිලි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහලේකම්වරයා වෙත ඇමරිකාව විසින් භාර දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය වෙත පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට චෝදනා කරමින් පසුගිය මැයි මස අගදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බව පැවසුවා. එමෙන්ම, ඇමරිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත යොදවා ඇති අරමුදල් ද ආපසු ගෙන වෙනත් ආයෝජන සඳහා යොදවන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත්, මේ වන විට ඇමරිකාවේ ඉවත්වීම පිළිබඳව නිල වශයෙන්ම දැනුම් දී තිබෙන බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය අහෝසි වීමේ ක්‍රියාවලියට වසරක් පමණ ගතවන බවත් ඒ අනුව, 2021 ජුලි මාසයේ 06 වන දින සිට එය බලාත්මක වන බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරිය මාධ්‍ය වෙත සඳහන් කළ බව බීබීසී පුවත් සේවය කරයි.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වුවහොත් ඔවුන් ලෝකය තුළ හුදෙකලා වනු ඇති බව විචාරකයින්ගේ අදහසයි. කොවිඩ් -19 වෛරසයෙන් දරුණුවටම බැට කන ඇමරිකා එක්සත් ජනපදයේ තත්ත්වය දිනෙන් දින නරක අතට හැරෙමින් පවතියි. ජෝන් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවන්ට අනුව, මේ වන විට ඇ.එ. ජනපදයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ප්‍රමාණය මිලියන 2.9 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම, ඇමරිකානුවන් 131,457 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

http://rivira.lk/advertising/
To Top