(RIVIRA.LK, 2020 ජුලි 08 පස්වරු 12.20ට)
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එජාප කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම, මහමැතිවරණ සටනින් ඉවත් වන බවට ජූලි 07 දින ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ රිවිර.lk ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකි.
එජාප කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම සිය නිවස ආසන්නයේ ප්‍රදර්ශනය කර තිබූ සිය මිය ගිය පුත්‍රයාගේ ඡායාරූපයක් සහිත දානමය පිංකමක් පිළිබඳ පුවරුවක් පොලීසියේ මැදිහත් වීමෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
එහිදී එය මැතිවරණ ප්‍රචාරක පුවරුවක් නොවන බවත් සිය පුත්‍රයා වෙනුවෙන් ඇසළ පොහොය දිනයේ දී සංවිධානය කර තිබූ දානමය පිංකමක් සම්බන්ධයෙන් පුවරුවක් පමණක් බවත් පාලිත තෙවරප්පෙරුම හිටපු මන්ත්‍රීවරයාගේ බිරිඳ පොලීසිය වෙත පවසා තිබෙනවා.
එහිදී පාලිත තෙවරප්පෙරුම විසින් පවසන පරිදි අදාළ පොලිස් නිලධාරීන් විසින් සිය බිරිඳව තල්ලු කරදමා ඇති අතර එය දුටු සිය අනෙක් පුත්‍රයා ද දැඩි කණගාටුවකට ලක්ව සිටින බව සඳහන් කළා. එසේම පොලීසිය විසින් තල්ලු කිරීම හේතුවෙන් තුවාල ලබා ඇති බව පවසා පාලිත තෙවරප්පෙරුම සිය බිරිඳව කළුතර නාගොඩ රෝහලට ද ඇතුළත් කරනු ලැබුවා.
එහිදී දැඩි කලකිරීමකින් යුක්තව හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ සියලු හිරිහැර බාධක එල්ල වන්නේ තමන් මැතිවරණයට ඉදිරිපත් ව සිටීම හේතුවෙන් නිසා මැතිවරණයෙන් ඉවත් වීමට තමන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කර තීරණය කරන බවයි.
එහෙත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මීට පෙර දී ද නිශ්චිත වශයෙන් ම සඳහන් කළේ අපේක්ෂකයෙකුට මැතිවරණයට තරඟ කිරීමෙන් ඉවත් විය නොහැකි බවයි.
එසේම පාලිත තෙවරප්පෙරුම හිටපු මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් රිවිර.lk කළ විමසීමක දී ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ හිටපු මන්ත්‍රීවරයා දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බවයි. මතුගම ඇතුළු දිස්ත්‍රික්කයේ පොලිස්ථාන කිහිපයකින් ම පාලිත තෙවරප්පෙරුම ඉලක්ක කර හිරිහැර කිරීමේ තත්වයක් පවතින බව සඳහන් කළ ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණ කාර්යාලයේ පුවරු පවා ගලවා ඉවත් කර ඇති බවයි. එසේම එලෙස ඉවත් කර ඇත්තේ පාලිත තෙවරප්පෙරුම හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රචාරක පුවරු පමණක් බව ද ඔහු සඳහන් කළා. එසේම අවසන් වරට ඉවත් කළ පුවරුව මැතිවරණ ප්‍රචාරක පුවරුවක් නොවන බවත් එය පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ මිය ගිය පුතුගේ දානමය පිංකමක් සම්බන්ධ පුවරුවක් බවත් සඳහන් කළා.
එසේම එම තත්වය හේතුවෙන් තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා දැඩි කලකිරීමකට පත්වෙමින් සිදු කළ ප්‍රකාශයක් බව ඔහු සඳහන් කළා. එහෙත් ඔහුගේ ජනතා මෙහෙවර දිගටම ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු පෙන්වා දුන්නා. එසේම ඔහුට අපේක්ෂකත්වයෙන් ඉවත් නොවන ලෙස දිනපතා ඔහුගේ නිවසට එන පිරිසගේ පළමු ඉල්ලීම බව ද තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශකයා සඳහන් කළා.
කෙසේ වෙතත් තවදුරටත් පොලීසියේ හා මැතිවරණ නිලධාරීන්ගෙන් දැඩි පීඩනයක් එල්ල වුවහොත් තමන්ට ඡන්දය නොදෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමට ද ඉඩ ඇති බවත් එතරම් කලකිරීමකට ලක්ව ඇති බවත් අදාළ ප්‍රකාශකයා කියා සිටියා. නමුත් ඔහු කිසි විටෙක් පක්ෂයත් පාක්ෂිකයාත් අමතක නොකරන බවද විශේෂයෙන් සඳහන් කර සිටියා.
එසේම සියලු ප්‍රචාරක ක්‍රම තහනම් කර ඇත්නම් තමන්ට කෝටි ගණන් වියදම් කර රූපවාහීනි දැන්වීම්, පුවත්පත් දැන්වීම් පළ කිරීමට මුදල් වියදම් කළ නොහැකි බවත්, ඒ සඳහා තමන්ට මුදල් නොමැති බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා. එසේම එතරම් මුදලක් තිබුණත් තමන් ඉන් ප්‍රචාරන කටයුතු නොකරන බව පවසා ඇති මන්ත්‍රීවරයා කියා ඇත්තේ එලෙස මුදල් තිබුණා නම් එම මුදලත් තමන් ජනතාවට සහන සළසන්න යොදවන බවයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම, 2020 මහමැතිවරණයෙන් ඉවත් වී නැති බව මන්ත්‍රීවරයාගේ ප්‍රකාශකයා තහවුරු කර සිටියා.

