,
Covid-19

දිවයිනේ සියළුම බන්ධනාගාර අමුත්තන් සඳහා වසා දමයි

(RIVIRA.LK, 2020 ජුලි 08 පස්වරු 03.15ට)

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු ජුලි 07 වන දින කොවිඩ් – 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ගැනීම හේතුවෙන් දිවයිනේ ඇති සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

එසේම, ජුලි 07 වන දිනයේ දි වැලිකඩ බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව තාවකාලිකව නවතා දැමුණි.

කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට ඉකුත් මාර්තු 20 වැනිදා යොමු කළ රැඳවූවෙක් එම කටයුතුවලින් පසු පොළොන්නරුව බන්ධනාගාරය වෙත භාර දී තිබුණේ ජුනි 26 වැනිදා ය. අනතුරුව ඔහුව ජුනි 27 වැනිදා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර තිබූ අතර ඔහු සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂාවේ දී කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කරගෙන තිබේ.

මේ වන විට, බන්ධනාගාර දෙපාර්තුමේන්තුව විසින් වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටුවේ අදාළ කොවිඩ් – 19 ආසාදිත වූ රැඳවියාගේ ආශ්‍රිතයින් පිළිබඳව තොරතුරු රැස් කිරීම ආරම්භ කර තිබේ.

එම තොරතුරු අනුව, අදාළ රැඳවියා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර එවූ දිනයේ සිට ජුලි 07 වන දිනය දිනය දක්වා රැඳවියන් 100කට පමණ පිරිසකට නිදහස හිමි වී නිවෙස් බලා ගොස් ඇති බවත් තවත් රැඳවියන් 8 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත යවා ඇති බවත් වාර්තා වේ. දෙදෙනෙකු කළුතර බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති අතර තවත් තිදෙනෙකු අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

එසේම, වැලිකඩ බන්ධනාගාරයේ I වාට්ටුවේ පසු වූ රැඳවියන් 189 දෙනෙකු යුද හමුදා නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ජුලි 07 වන දින රාත‍්‍රි 9.00 ට පමණ පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙ අතර එම පිරිස බස් රථ 6කින් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මෙම පිරිස පළමුව රන්ටැඹේ පිහිටි ශිෂ්‍ය භට බලකා කඳවුර වෙත රැගෙන යාමට සූදානම්ව සිටියද, පසුව එම පිරිස පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.. බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ යුද හමුදාවේ ආරක්ෂාව යටතේ ඔවුන්ගේ නිරෝධායන කටයුතු සිදු කරනු ඇත.

මීට අමතරව, වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරි කළ නිලධාරීන් 9 දෙනෙකු ද රාජගිරියේ පිහිටි ආයුර්වේද රෝහලට නිරෝධනය සඳහා යොමු කර ඇත. එම 9 දෙනා අතරට ජේලර්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරුන් 8 දෙනෙකු අයත් වේ.

Rivira Ads
To Top