(RIVIRA.LK, 2020 ජුලි 08 පස්වරු 03.45ට)
අග්නිදිග ආසියානු කලාපයේ සරම්ප සහ රුබෙල්ලා තුරන් කළ පළමු රටවල් දෙක බවට ශ්‍රී ලංකාව සහ මාලදිවයින පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි. ඒ, සරම්ප සහ රුබෙල්ලා තුරන් කිරීමේ ඉලක්කය ලෙස නියම කර ගත්, 2023 වසරට පෙර එම රෝග රටින් තුරන් කිරීම හේතුවෙන් ය.
වසංගත විද්‍යාව, වෛරස විද්‍යාව සහ මහජන සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල ස්වාධීන ජාත්‍යන්තර විශේෂඥයින් 11 දෙනෙකුගෙන් සමන්විත වන, අග්නිදිග ආසියාවේ සරම්ප සහ රුබෙල්ලා තුරන් කිරීමේ කලාපීය සත්‍යාපන කොමිෂන් සභාවේ පස්වන රැස්වීමෙන් පසුව මේ බව නිවේදනය කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, හොඳින් ක්‍රියාත්මක වන නිරීක්ෂණ පද්ධතියක් තුළ වසර තුනකට වැඩි කාලයක් සරම්ප සහ රුබෙල්ලා වෛරසය, රටක ජනගහනයක් තුළ සම්ප්‍රේෂණය වූ බවට සාක්ෂි නොමැති රටක්, සරම්ප සහ රුබෙල්ලා තුරන් කළ බවට තහවුරු කළ හැකි වේ.
මාලදිවයිනෙන් 2009 දී අවසන් වරට සරම්ප රෝගය සහ 2015 ඔක්තෝබර් මාසයේදී රුබෙල්ලා රෝගය වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකාවෙන් අවසන් වරට සරම්ප රෝගය 2016 මැයි මාසයේ දී සහ රුබෙල්ලා රෝගය 2017 මැයි මාසයේ දී වාර්තා වී ඇත.
මුළු ලෝකය ම COVID-19 වසංගතය සමඟ පොරබදමින් සිටින මොහොතක, මෙම සාර්ථකත්වය දිරිගන්වනසුලු බවත් සෞඛ්‍ය අංශ ඇතුළු සියලු ක්ෂේත්‍රවල ඒකාබද්ධ ප්‍රයත්නයන්හි වැදගත්කම පෙන්නුම් කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ආචාර්ය කේත්‍රපාල් සිං මහතා පවසයි.
එසේ ම, COVID-19 වසංගතයට එරෙහිව සටන් කරන අතරතුරේ දී පවා ප්‍රතිශක්ති එන්නත් දරුවන්ට ලබා දීමට සාමාජික රටවල් දරන උත්සාහය ද එම අධ්‍යක්ෂවරයා පැසසුමට ලක් කළේය.
භූතානය, උතුරු කොරියාව සහ නැගෙනහිර ටිමෝරය සරම්ප තුරන් කළ, කලාපයේ අනෙකුත් රටවල් වේ.

