,
Covid-19

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 3 පනී, සම්පූර්ණ වාර්තාව

(RIVIRA.LK, 2020 ජුලි 08 පස්වරු 08.06ට)

ඇමරිකා එක්සත් ජනපදය තුළ ජූලි 08 බදාදා පස්වරු 6 වන විට කොරෝනා වෛරස් රෝගීන් මිලියන 3 ඉක්මවා ගියා. ඒ සමඟ රටක දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයත් වාර්තා කරමින් අවසන් පැය 24 තුළ නව ආසාදිතයින් 60,021ක් වාර්තා කිරීමත් සමග රෝහල් ගතවීම් අඛණ්ඩව ඉහළ ගොස් දැඩි සත්කාර ඒකකවල ඇඳන් ද ඉක්මනින් පිරී ගියේය.

ලොව වාර්තාවන සමස්ථ ආසාදිතයින් ප්‍රමාණයෙන් හතරෙන් එකක්ම (1/4) වාර්තා වන්නේ ඇමරිකාවෙනි.

වොෂිංටනයේ එවරෙට් හි ජනවාරි 21 වන දින පළමු කොවිඩ්-19 ආසාදිතයා වාර්තා වීමෙන් මාස හයකට වඩා අඩු කාලයකදී මෙම සන්ධිස්ථානයට පැමිණ තිබීම විශේෂත්වයක්. මේ වන විට වෛරසයෙන් ඇමරිකානුවන් 134,018 කට අධික පිරිසක් මිය ගොස් ඇත. වෛරසය හේතුවෙන් රටක් තුළ වැඩිම මරණ වී ඇත්තේ ඇමරිකාව තුළයි.

ඇමරිකාවේ මෙතෙක් සුවය ලබා ඇත්තේ 1,355,624ක් පමණයි. සක්‍රීය ආසාදිතයින් 1,608,669ක් හෙවත් මිලියනය 1.6කට වැඩි පිරිසක් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 9,359ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 405කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය 38,817,391ක් හෙවත් මිලියන 38කට අධික වන අතර ජනගහණය මිලියනයකට සාපේක්ෂව 117,259ක් පමණ වේ.

කැලිෆෝනියාවේ සති දෙකක් තුළ රෝහල් ගතවීම් 50% කින් ඉහළ ගොස් තිබේ. ඇරිසෝනා හි ICU ඇඳන් ප්‍රමාණයෙන් 90% ක් පිරී ඇති අතර ප්‍රතිශතය වර්ධනය වෙමින් පවතින බව එරටින් වාර්තා වේ. ජෝර්ජියාවේ සැවානාහි රෝහල් ගතවීම් මාසයක් තුළ හතර ගුණයකින් වැඩි වී තිබේ.

ෆ්ලොරිඩාවේ අවම වශයෙන් රෝහල් දැඩි සත්කාර ඒකක 56 ක් වත් උපරිම ධාරිතාවයට පැමිණ ඇති අතර සමහර රිපබ්ලිකන් සෙනෙට් සභිකයින් කියා සිටියේ ලබන මාසයේ ජැක්සන්විල් හි පැවැත්වෙන රිපබ්ලිකන් ජාතික සමුළුවට සහභාගී නොවන බවයි.

කෙසේවෙතත්, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවා ඇති දැඩි සීමාවන්ට එරෙහි විරෝධයක් තවමත් ඇමරිකාව තුළ පවතී. මුඛ ආවරණ පැළඳීම පවා ප්‍රතික්ෂේප කරන පිරිස් ඇමරිකාව තුළ බහුලව සිටී. එසේම නැවත විවෘත කිරීමේ අයිතිය ඉල්ලා සිනමාශාලා නිව් ජර්සි හි නඩු පවරා ඇත.

Rivira Ads
To Top