දේශීය පුවත්

අප්‍රිකාවේ සිට පැමිණි ලාංකිකයින් අට දෙනෙකුට මැලේරියාව ආසාදිත බව ලංකාවේදී තහවුරු වෙයි

(RIVIRA.LK, 2020 ජුලි 09 පෙරවරු 11.56ට)

අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු මැලේරියා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කරයි. මේ වන විට, එම පුද්ගලයින් අට දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින බව ද ඔහු පවසයි.

මෙලෙස මැලේරියා ආසාදිත වූවන් බවට තහවුරු වී ඇත්තේ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 05 දෙනෙකු සහ මීගමුව වයිකාල් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් තිදෙනෙකු වේ.

2012 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව තුළින් කිසිදු මැලේරියා රෝගීයෙකු වාර්තා නොවූව ද විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් මැලේරියා ආසාදිතයින් ලෙස මීට පෙර හඳුනාගෙන ඇති බව වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කරයි.

පසුගිය වසරේ පමණක් එලෙස විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 53 දෙනෙකුට මැලේරියාව ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. නමුත්, එකවර වැඩි පිරිසක් මැලේරියා රෝගීන් ලෙස හඳුනාගත් ප්‍රථම අවස්ථාව මෙය බව ද ප්‍රසාද් රණවීර මහතා සඳහන් කරයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මැලේරියා අවදානම් රටවල සිට පැමිණෙන සියලු පුද්ගලයින් පී.සී.ආර් පරීක්ෂණයට අමතරව මැලේරියා පරීක්ෂණයකට ලක් කිරිමට ද තීරණය කර තිබෙනවා.

ඊට අමතරව, නිරෝධායන මධ්‍යස්ථාන අවට මැලේරියා මදුරුවන් මර්දනය කිරිම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ද මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා වැඩිදුරටත් පැවසුවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top