දේශීය පුවත්

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතයනය, විශ්වවිද්‍යාලයක් ලෙස උසස් කරයි

(RIVIRA.LK, 2020 ජුලි 09 පස්වරු 1.52ට)

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට උසස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.

ඊට අදාළ යෝජනාව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ජුලි 08 වන දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2010-2015 දක්වා පැවැති ජාතික ප්‍රතිපත්තිය යටතේ සංචාරක කර්මාන්තය ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම ප්‍රචලිත කිරීම හඳුනාගන්නා ලදී.

වර්තමානයේ ‘ස්වභාවික හා පරිසර හිතකාමි දේ කරා යොමු වන්න‘ යන සංකල්පය යටතේ ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර, පරිසර හිතකාමි සුව කිරීමේ පද්ධති වන ආයුර්වේද, සිද්ධ, යුනානි, කටු චිකිත්සාව වැනි දේශීය සුව කිරීමේ ක්‍රම පිළිබඳ සංචාරකයන් උනන්දුවක් ද දක්වති. මෙම කැබිනට් තීරණය මඟින් අංග සම්පූර්ණ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයක් බවට පත් කිරිම බටහිර සංචාරකයින් ඇද ගැනීමට ද අවස්ථාවක් වනු ඇත.

ඒ අනුව, මෙරට සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රම අධ්‍යයනය කෙරෙහි ප්‍රමුඛතාව ලබා දෙමින් පවත්වාගෙන යනු ලබන විශ්වවිද්‍යාලයක් ලෙස ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය උසස් කිරීම සඳහා උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මෙම විද්‍යායතනය දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පවතින අතර එමඟින් ආයුර්වේද හා ඊට අනුබද්ධ විද්‍යාවන්හි උපාධි හා පශ්චාත් උපාධි පිරිනමනු ලබයි.

Rivira FB Group Rivira Youtube
To Top