,
Covid-19

කන්දකාඩු කොරෝනා පොකුරෙන් සමාජයට ව්‍යාප්ත වීමේ ප්‍රබල අවදානමක්

(RIVIRA.LK, 2020 ජුලි 09 පස්වරු 08.24ට)

පොළොන්නරුව කන්දකාඩු හී පිහිටි මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානය තුළින් හමු වූ කොවිඩ්-19 පොකුර මගින් සමාජයට වෛරසය ව්‍යාප්තවීමේ ප්‍රබල අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පෙන්වා දෙනවා.

ජූලි 09 දින එම ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙම පොකුරට අදාළව ජූලි 07 දින මුල්වරට වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ අතර එහිදී අනාවරණය වූයේ ඔහු කන්දකාඩු හී පුනුරුත්ථාපනය සඳහා යොමු කර සිටි අයෙකු බවයි. ඒ අනුව කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රැඳවියන් සහ සේවකයින් 600කගේ සහ වැලිකඩ බන්ධනාගාරයේ ආශ්‍රිතයින් 310කගේ ජෛව සාම්පල ලබාගෙන තිබුණි. එහිදී සිදුකළ PCR පරීක්ෂණ මගින් වැලිකඩ බන්ධනාගාරයේ ආශ්‍රිතයින් 310 දෙනාගේම PCR පරීක්ෂණ මගින් ආසාදිතයින් නොමැති බව තහවුරු වූවද කන්දකාඩු හී PCR පරීක්ෂණවලට ලක් කළ සාම්පල 450ක් අතුරින් මේ වන විට ආසාදිතයින් 56ක් සහ එහි සේවය කළ උපදේශිකාවක් මාරවිල ප්‍රදේශයෙන් ද ආසාදිත බවට තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව මේ වන විට අදාළ පොකුරෙන් සමස්ත ආසාදිතයින් 58 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ එම ප්‍රමාණය ඉදිරියේදී තවත් වැඩිවීමට ඉඩ ඇති බවයි.

ඒ අනුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ අදාළ උපදේශිකාව නිවෙස කරා යාමට පොදු ප්‍රවාහන සේවය භාවිතා කර ඇති බවත් පසුව නිවසට පැමිණීමෙන් පසු තවත් නිවෙස් කිහිපයකට, පෞද්ගලික වෛද්‍යවරයෙක් හමුවට ඇතුලු ස්ථාන කිහිපයකට ගොස් ඇති බවයි. එසේම කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් හමුවීමට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පැමිණ ඇති බවත් ඔවුන් නිරෝධායන උපදෙස් පිළිපදිමින් රැඳවියන් හමුව තිබුණත් එහිද යම් අවදානමක් ඇති බව සඳහන් කළා. එමෙන්ම අදාළ මධ්‍යස්ථායේ සේවකයින් නිවාඩු ලබා නිවෙස්වලට ගොස් ඇති බව ද ඔහු සඳහන් කළා.

ඒ අනුව කන්දකාඩු කොරෝනා පොකුරෙන් වෛරසය සමාජයට ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නා.

ඔහුගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව

Rivira Ads
To Top