Life

නීතිඥ සිහිනය බොඳ කරන නීති විද්‍යාලයේ ‘සුපිරි විභාග ගාස්තුව’

(RIVIRA.LK, 2020 ජුලි 10 පස්වරු 06.25ට)

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගය සඳහා අය කරනු ලබන විභාග ගාස්තු අසාමාන්‍ය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් විශාල සිසුන් පිරිසක් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව වාර්තා වේ.

නීතිඥවරයෙකු වීම බොහෝ දෙනෙකුගේ සිහිනයකි. ශ්‍රී ලංකාවේ නීතිඥවරුන් බිහි කරන එකම ආයතනය වන්නේ ශ්‍රී ලංකා නීති විද්‍යාලය යි. ශ්‍රී ලංකා නීති විද්‍යාලය හරහා නීතිඥවරයෙකු වීමට ප්‍රධාන මාර්ගයන් කිහිපයක් පවතී.

ඉන් පළමු වැන්න වන්නේ උසස් පෙළ සාමාන්‍ය පරිදි සමත් වූ ඕනෑම අයෙකුට සාමාන්‍ය පෙළ සිංහල හෝ දෙමළ විෂයට සහ ඉංග්‍රීසී විෂයට සම්මාන සාමාර්ථයක් ඇත්තනම් නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වී නීති විද්‍යාලයට ඇතුළත්ව තුන් අවුරුදු පාඨමාලාව හදාරා සියලු විභාගයන්ගෙන් සමත් වී නීතිඥ සිහිනය සැබෑ කර ගැනීම යි.

දෙවන ක්‍රමය වන්නේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයක නීති පීඨයට ඇතුළත් වී නීතිවේදී උපාධිය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයට පැමිණ එහි අවසන් වසර විභාගයට පමණක් පෙනී සිට නීතිඥ වෘත්තියට පිවිසීම යි.

තෙවන ක්‍රමය වන්නේ ඇමරිකාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව යන රවටල විශ්වවිද්‍යාලය මගින් පිරිනමන, සංස්ථාගත නීති අධ්‍යාපන කවුන්සිලය මගින් පිළිගත් ලන්ඩන් නීතිවේදී උපාධියක් හදාරා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලියාපදිංචි වී සියලු විභාගයන් සමත් වී නීතිඥ වෘත්තියට පිවිසීම යි.

කෙසේ වෙතත් අඩු ආදායම් ලාභී බොහෝ සිසුන් පිරිසක් නීතිඥවරයෙකු වීමට තෝරා ගන්නේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීමේ මාර්ගය යි.

නීති විද්‍යාලය සැළකෙන්නේ ශ්‍රී ලංකාව තුළ ඉතාමත් අඩුම පිරිවැයකින් සහ අඩුම කාලයකින් නීතිඥයෙකු වීමට ඇති පහසුම මාර්ගය ලෙස යි.

නමුත් 2021 වර්ෂය සඳහා නීති ප්‍රවේශ විභාගයේ ප්‍රවේශ ගාස්තුව රු.6,000ක් ලෙස නියම කර තිබෙනවා. නීති විද්‍යාල ප්‍රවේශ විභාගය මේ වන විට දැඩි තරඟකාරී විභාගයක් බවට පත්ව ඇති අතර වසරකට සමත් වන්නේ 250කට ආසන්න පිරිසක් පමණ යි. සාමාන්‍යයෙන් වසරකට 8,000ත් 18,000ත් අතර පිරිසක් නීති ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටීම සිදුවනවා.

ඒ අනුව වසරකට සිසුන් දහස් ගණනකට නීති විද්‍යාල ප්‍රවේශය අහිමි වී යන අතර ඒ වෙනුවෙන් උපකාරක පන්ති සඳහා ද විශාල මුදලක් වැය කිරීමට සිසුන්ට සිදු වී තිබෙනවා. සාමාන්‍යයෙන් මසකට රු.3,500ක පමණ මුදලක් උපකාරක පන්ති විසින් අය කරනු ලබන බව ද සඳහන්. ඒ අනුව වසරක් පමණ කාලයක් පුරාවට උපකාරක පන්ති සඳහා ද සහභාගී වන සිසුවෙකුට සාමාන්‍ය බස් ගාස්තු සහ වෙනත් වියදම් රහිතව නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ගාස්තුව සමග රු. 50,000ක පමණ මුදල් වැය කිරීමට සිදුව තිබෙනවා. එහෙත් එම සිසුවාට විභාග අපේක්ෂකයින් 15,000 පමණ පිරිසක් අතුරින් 250ට තේරීමට ඇත්තේ සුළු අවස්ථාවක් පමණයි.

මෙම තත්වය හේතුවෙන් නීතිඥ සිහිනය සැබෑ කර ගැනීමට වෙර දරන සාමාන්‍ය පවුල්වල සිසුන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා. අනෙක් පසින් සිසුන් කරන චෝදනාවක් වන්නේ නීති විද්‍යාලය තුළ වයස් සීමාවක් නොමැති වීම හේතුවෙන් රැකියා කරන පිරිස් සහ වෙනත් උපාධිධාරීන් පවා එම මුදල ගෙවා විභාගයන් සමත් වී නීති විද්‍යාලයට ඇතුළත් වීම තුළින් තමන්ට ඇති සුළු අවස්ථාවටත් දැඩි තරඟයක් එල්ල වී ඇති බවයි. එසේම විශ්‍රාමිකයින් ද නීති ප්‍රවේශය සඳහා පෙනී සිට නීති විද්‍යාලයට ඇතුළත් වීමේ ප්‍රවනතාවයක් ඇති බවට සිසුන් චෝදනා කර සිටිනවා.

එසේම මෙලෙස අධික මුදල් වැය කිරීමට සිදුවීම හේතුවෙන් නීති විද්‍යාලයේ ඇති ප්‍රතිපත්තිය වී ඇත්තේ ලන්ඩන් නීතිවේදී උපාධියක් හදාරා නීති විද්‍යාලයට පැමිණෙන ලෙස දිරි ගැන්වීමක් දැයි සිසුන් ප්‍රශ්න කර සිටිනවා. ලන්ඩන් උපාධි ලබාදෙන ඇතැම් ආයතනවලින් රු. ලක්ෂ හතරකට පමණ නීතිවේදී උපාධියක් ලබාගත හැකි බවත් මෙලෙස අධික මුදල් වැය කරවන නීති විද්‍යාල ප්‍රවේශ ක්‍රමයක් පවත්වාගෙන යාම හරහා සිසුන්ව ලන්ඩන් නීතිවේදී උපාධි වෙත යොමු කරවීමක් සිදු කෙරෙන බවටත් සිසුන් චෝදනා කර සිටිනවා.

නීති විද්‍යාල ප්‍රවේශ විභාග ගාස්තු පිළිබඳ රිවිර.lk කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ 2013 වසරේ අය කළ විභාග ගාස්තුව මේ වන විට දෙගුණ වී ඇති බවයි.

විභාග ප්‍රවේශ ගාස්තු සහ ගෙවීමට නියම කර ඇති තැපැල් ගාස්තු 2013 අධ්‍යයන වසරේ සිට මෙසේය.

  • 2013 – රු. 3,000 + රු. 150 = රු. 3,150
  • 2014 – රු. 3,000 + රු. 150 = රු. 3,150
  • 2015 – රු. 3,000 + රු. 150 = රු. 3,150
  • 2017 – රු. 4,000 + රු. 1,550 = රු. 5,550
  • 2018 – රු. 4,000 + රු. 150 = රු. 4,150
  • 2019 – රු. 4,000 + රු. 150 = රු. 4,150
  • 2020 – රු. 5,500 + රු. 500 = රු. 5,500
  • 2021 – රු. 6,000

ඉහත මුදල ගෙවූ පසු ප්‍රවේශ විභාගයට අදාළ අයදුම්පත සහිත පොතක් සිසුන් වෙත ලබා දෙන අතර පසුව මෙම විභාගය සඳහා උපකාරක පන්ති හරහා ඇති කර තිබෙන දැවැන්ත තරඟය හේතුවෙන් උපකාරක පන්ති වෙත සහභාගී වීමට ද සිසුන් ට සිදු වී ඇත. ඒ අනුව අවම වශයෙන් එක් උත්සාහයක් සඳහා උපකාරක පන්තිවලට ද සහභාගී වන සිසුවෙකු වැය කළ යුතු අවම මුදල ආසන්න වශයෙන් රු. 65,000කට අධික වේ. එහෙත් 250ක් වැනි සුළු ප්‍රමාණයකට තේරීමට ඔවුන්ට ඇත්තේ ඉතාමත් සුළු හා අහඹු අවස්ථාවකි. ඒ හේතුවෙන් එතරම් මුදලක් වැය කර හෝ නීති විද්‍යාල වරම් ලබාගත නොහැකි වීම සිසුන්ගේ ආතතිය ඉහළ නැංවීමට හේතු වී තිබෙනවා.

එසේම ලන්ඩන් නීතිවේදී උපාධියක් ලබාගෙන පැමිණෙන පිරිසට ප්‍රවේශ විභාගයක් නොමැති වීම හේතුවෙන් ඔවුන්ට කිසිඳු ගැටළුවකින් තොරව උපාධියත් සමග නීතිඥ වෘත්තියට දොර විවර වී තිබෙනවා. එහෙත් අවස්ථා 3ක් පමණ උත්සාහ කරන සිසුවෙකු විශාල මුදලක් වැය කරත් එම සිහිනය සැබෑ කර ගැනීමට නොහැකිව අපේක්ෂා භංගත්වයට පත්ව සිටිනවා.

මේ වන විට ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් වසරකට නීතිඥවරුන් ලෙස පිටත් වන සිසුන් ප්‍රමාණයෙන් 60%කට වැඩි ප්‍රමාණයක් ලන්ඩන් නීතිවේදී උපාධිධාරීන් බව ද වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් වසරකට කොළඹ, පේරාදෙණිය, යාපනය, විවෘත විශ්වවිද්‍යාලය හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යන රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් සහ ඍජුව නීති විද්‍යාලයෙන් නීතිඥවරුන් වන පිරිසට වඩා වැඩි පිරිසක් ලන්ඩන් නීතිවේදී උපාධිය සහිතව නීතිඥවරුන් ලෙස වෘත්තියට එක්වන බවට ද චෝදනා එල්ල වෙමින් පවතිනවා. විවෘත විශ්වවිද්‍යාලයට ඇති අවස්ථා දිගින් දිගටම සීමා කිරීමට ලක් කෙරෙන බවට ද ඇතැම් පිරිස් චෝදනා කර සිටීම ද සැළකිය යුතු තත්වයකි.

මෙහිදී ඇති ප්‍රධානතම චෝදනාවක් වී ඇත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මන්‍ය කර ලන්ඩන් නීතිවේදී උපාධි සඳහා වැඩි ඉඩක් ලබා දෙන බවට වන චෝදනාවයි.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගය, ශ්‍රී ලංකාවේ පවත්වන වෙනත් තරඟ විභාග හා සැසඳීමේ දී මෙම තරඟ විභාගය සඳහා මෙතරම් විශාල විභාග ගාස්තුවක් අය කළ ද අනෙකුත් තරඟ විභාග සඳහා උපරිමය රු. 1,500කට පමණ සීමාවන බව ද නිරීක්ෂණය වේ. එසේම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් තරඟ විභාග පවත්වන සෑම විභාගයකම පාහේ විභාග ගාස්තු අය කරන්නේ විභාග දෙපාර්තමේන්තුව විසින් වන අතර නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ විභාග ගාස්තුව අය කරන්නේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් ම වීම ද විශේෂිත තත්වයකි.

මීට අදාළව නීතිඥ සිහිනය දකින සාමාන්‍ය පවුල්වල සිසුන් ඉල්ලා සිටින්නේ තමන්ට නීතිඥවරයෙකු වීමට ඇති ඍජු හා අවම පිරිවැය ක්‍රමය වී තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාලය ප්‍රවේශ විභාගය ක්‍රමයට අදාළ ප්‍රවේශ විභාග ගාස්තුව, සාමාන්‍ය හා දැරිය හැකි ගාස්තුවක් දක්වා අඩු කරන ලෙසයි.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

පිළිතුරු දීමේ අයිතිය – rivira@rivira.lk

Rivira FB Group Rivira Youtube
To Top