(RIVIRA.LK, 2020 ජුලි 12 පස්වරු 01.50ට)
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය, කන්දකාඩු පොකුර හේතුවෙන් ඉහළ යමින් තිබෙන තත්වය පාදක කරගෙන ඇතැම් පුද්ගලයින් ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් සිටිනවා.
ඒ අතර මාර්තු 17 දින “අද දෙරණ” ඔස්සේ විකාශය වූ “දින තුනක විශේෂ නිවාඩුවක්” යන විශේෂ පුවත සමාජ මාධ්‍ය ඔස්සේ නැවත හුවමාරු කරමින් සිටී. ඇතැමුන් විසින් එම වීඩියෝව ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා ඔස්සේ නැවත බෙදාහරිමින් සිටින අයුරු නීරීක්ෂණය වේ.
එසේම ඊට අදාළව සැකසූ කෙටි පණිවිඩයක ඡායාරූපයක් ද නිර්මාණය කර හුවමාරු වෙමින් පවතින බව නිරීක්ෂණය වේ.
මේ සම්බන්ධයෙන්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව විසින් සිය නිල “ට්විටර්” ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, රජය විසින් දින 03ක නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පලවන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බවයි. එසේම ඒ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ද පළ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනාරත්න සඳහන් කළේ, විවිධ කටකතා සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරවන පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක බවයි. එසේම එලෙස වැරදි තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටී.
සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සහ ප්‍රචාර පතුරුවන පුද්ගලයින් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමසිල්ලෙන් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

