කොවිඩ්-19

අසර්බයිජානයේ අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ එකම ඉල්ලීම

(RIVIRA.LK, 2020 ජූලි 14 පෙරවරු 12.32ට)

කොරෝනා වෛරසය මේ වන විට රටවල් 200කට අධික සංඛ්‍යාවකට පැතිරගොස් තිබේ. එම රටවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් මේ වන විට ජාත්‍යන්තර වශයෙන් වසා දැමීමකට ලක්ව ඇති අතර ගුවන් ගමන් ඇතුළු සබදතා රැසක් අත්හිටුවා තිබේ.

ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එම රටවල්වල වාසය කරති. අධ්‍යාපනය, රැකියාව හෝ වෙනත් හේතු මත ඔවුහු එම රටවලට සංක්‍රමණය වී සිටිති.

දකුණු නැගෙනහිර යුරෝපයට හා දකුණු බටහිර ආසියාවට මායිම්ව පිහිටි අසර්බඡානයේ බාකු නගරයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරමින් සිටින ශ්‍රි ලාංකික සිසු සිසුවියන් දැනට පවතින කොරෝනා රෝගී තත්ත්වය හේතු කොට ගෙන දැඩි අසරණ තත්වයකට පත්ව සිටියි.

මෙලෙස අසර්බයිජානය පුරා දැනට ශ්‍රී ලාංකීය සිසු සිසුවියන් 64 දෙනෙකු හා ව්‍යාපාරිකයන් 24 දෙනෙක් ජිවත් වන එහි සිටින ශ්‍රී ලාංකිකයින් වීඩියෝ පණිවඩුයක් හරහා කියා සිටිනවා.

ඔවුන් ජීවත් වන බාකු නගරය මේ වන විට දෙමසකට ආසන්න කාලයක් වසා දමා ඇති නිසා ඔවුන්ගේ විශ්වවිද්‍යාල කටයුතු ද සම්පුර්ණයෙන් නවතා දමා ඇති බව ඔවුන් කියා සිටී. එමෙන්ම දැනට මසක පමණ කාලයක සිට බාකු නගරයේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බව ද ඔවුන් පවසයි. අද වන විට අසර්බඡානය පුරා 22,990 කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන අතර ඉන් 14,093ක් පමණ සුවය ලබා 292 ක් මරණයට පත් වී තිබෙනවා.

අදාළ වීඩියෝ පණිවුඩයෙන් එම සිසු සිසුවියන් ප්‍රකාශ කරනු ලැබුවේ, ශ්‍රි ලංකාවේ පවතින වංචනික ඒජන්සි කරුවන් විසින් රැවටිලි සහගත ලෙස අදාළ රටට යොමු කළ බවට චෝදනා කළ අතර පොරොන්දු වූ පරිදි පරිදි අර්ධ කාලීන රැකියාවක හෝ නියැලීමට කිසිම අයෙකුට මේ වනතෙක් නොහැකි වී ඇති බව ද පෙන්වා දුන්නා.

තවද සිය උසස් අධ්‍යාපනය සදහා අසර්බයිඡානය වෙත පැමිණි මෙම සිසු සිසුවියන් කණ්ඩායමට සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ඒ රට උසස් අධ්‍යාපන ආයතන මගින් ලබා දී නොමැති බවත් එසේ සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් තමන් හට ලැබෙන බව ඒජන්සි කරුවන් විසින් ප්‍රකාශ කළබවත් සදහන් කරන්නට විය.

ඔවුන්ගේ ප්‍රකාශය තුළ ඇතුළත් විශේෂිතම තත්වය වන්නේ මෙලෙස නොදන්නා රටක වී සිරවී සිටින ලාංකීය සිසු සිසුවියන් කණ්ඩායමට, තමන් මුහුණ දී ඇති තත්වය සහ සිදුවී ඇති අපහසුතාවයන් පිළිබද සාකච්ඡා කිරීමට සහ පැමිණිලි කිරීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති වීමයි. එම සිසු සිසුවියන් පවසන්නේ තමන් ඇතුළු කණ්ඩායම පිළිබද වගකීමක් ගැනීමට කිසිවෙකුත් නොමැති බවයි.

දැඩි අපහසුතාවයන්ට ලක්ව සිටින මෙම සිසු කණ්ඩායම වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලබන්නේ සිය දෙමව්පියන් මත යැපෙමින් කොරෝනා ආරම්භයේ පටන් ජිවත් වූ බවත් ලංකාවේ පවතින තත්වය හේතු කොට ගෙන දිගින් දිගටම මුදල් එවීමට සිය දෙමාපියන් හට ද අපහසුතා පවතින බවයි.

පානීය ජලය පවා මුදල් ගෙවා ලබා ගන්නා අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ද දිනෙන් දින ඉහල යන බවත් සිය නවාතැන් ගාස්තු පවා ගෙවා ගැනීමට නොහැකි තත්වයක් අද වන විට උත්ගතව ඇති බව වැඩිදුරටත් එම ශිෂ්‍යන් සදහන් කරයි. දෛනික ආහාර සපයා ගැනීමද මේ වන විට ඉතා අපහසුතත්වයකට පත්ව ඇති බව සදහන් කරන ඔවුන්, එරට රජයේ රෝහල් මගින්ද විදේශිකයන් වෙත වෛද්‍ය පහසුකම් හා ඖෂධ ලබා දීම ද සීමාකර ඇති බව කියා සිටී.

චීනයේ වුහාන් සිට ලන්ඩනයේ හා යුරෝපයේ ආසියාවේ සිරවී සිටි සිසු සිසුවියන් ලංකාවට ගෙන්නා ගත්තා මෙන් ජීවිතය පිළිබද දැඩි අවදානමක් සහිත අසර්බයිජානයේ සිසු සිසුවියන් පිළිබද අතිගරු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ මෙන්ම අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.

කෙසේ වෙතත් පසුව දැන ගැනීමට ලැබුණ පරිදි මෙම තොරතුරු ප්‍රකාශ කරමින් ඔවුන් අදාළ වීඩියෝ පටය නිකුත් කළ පසු ඒජන්සි නියෝජිතයින් බව සැක කළ හැකි පිරිසකගෙන් ඔවුන්ට මරණ තර්ජන ද එල්ල වී ඇති බව වාර්තා වේ. තවදුරටත් මෙවැනි තත්වයන් සමාජ ගත කිරීම නවත්වන ලෙස අදාළ තර්ජනවලින් පවසා ඇති බව ද වාර්තා වේ.

මේ සම්බන්ධව තවත් තොරතුරු ලැබෙමින් පවතින අතර ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

-අසර්බයිජානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් විසින් යොමු කරන ලද ඉල්ලීමකි

Rivira FB Group Rivira Youtube
To Top