,
Covid-19

මධ්‍යම පළාතේ 300ක් ස්වයං නිරෝධායනයට

(RIVIRA.LK, 2020 ජුලි 14 පස්වරු 3.29ට)

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ, කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කරගත් හමුදා නිලධාරින් 9 දෙනෙකු මධ්‍යම පළාතේ පදිංචිකරුවන් බවට තහවුරු වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ, ජුලි 14 වැනි දින මහනුවරදි පැවැත්වු මාධ්‍ය සාකච්ඡාචක දී ය.

එමෙන්ම, මාතලේ දිස්ත්‍රික්කයේ 4 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇති බවත් මින් මහනුවර දැඩි අවදානම් තත්වයක ඇති බවත් ඔවුන් ඇසුරු කළ ආශ්‍රිතයන් 300 ක් පමණ මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මෙම නිලධාරීන් පාතදුම්බර, මැණික්හින්න, කුන්ඩසාලෙ, තාලාතුඔය, ගම්පල, බඹබරදෙණිය හා හසලක ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් ඇතැම් පුද්ගලයින් දින 2 සිට දින 10 දක්වා තම ගම්වල රැඳී ඇති බවත්, ඉන් පළමු වටයේ හා දෙවන වටයේ සියලු දෙනාම ස්වයං- නිරෝධයානයට ලක් කර ඇති බවත්, ඔහු සඳහන් කළේ ය.

මින් පළමු පෙලේ අයගේ පී සී ආර් පරීක්ෂණ කර වාර්තා ලැබෙන තුරු ගන්නා ආරක්ෂිත ක්‍රියා මාර්ග සියලුම දේ රැගෙන ඇති බවත්, ඔවුන් හඳුනාගෙන නිරෝධායනය කිරීම තුළින් මෙම වෛරසය සමාජයට පැතිරීම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ, පොලිසිය හා හමුදාව මේ වන විට ක්‍රියා කරමින් සිටින බවත් අධ්‍යක්ෂවරයා පැවැසීය.

පළමු පෙළ පී. සී. ආර්. පරීක්ෂණ වල ප්‍රතිඵල වලින් වෛරසය වැළඳී නැති බවට තහවුරු වුවහොත් පවතින අවදානම අඩුවන බවත් කෙසේ වෙතත් සියලු තත්වයන්ට මුහුණ දීම සදහා සියලුම ආරක්ෂිත ක්‍රියාමාර්ග මේ වන විට රැගෙන ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පැවැසීය.

කෙසේ වෙතත්, ජනතාව පෙර පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට යොමු වන ලෙසත් මෙය මැඩ පවත්වන තෙක් පොදු ප්‍රවාහන සේවා පොදු ස්ථානවල අවශ්‍යතා හැකිතාක් අඩුකර සෞඛ්‍ය අංශවලට සහයෝගය ලබාදෙන ලෙසත් ඔහු දැනුම් දුන්නේය. මෙම ආසාදිතයින් ඇසුරු කළ කෙනෙකු සිටිනම් වහාම අදාළ සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසත් මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.

Rivira Ads
To Top