(RIVIRA.LK, 2020 ජුලි 14 පස්වරු 08.10ට)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නංවමින් 2021 සිට 2030 දක්වා දශකය නිපුණතා සංවර්ධන දශකයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය ජූලි 14 දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
එමගින් ශ්‍රී ලංකාවේ නුපුහුණු ශ්‍රම බලකාය ජනගහණයෙන් 10% දක්වා අඩු කිරීම සහ රටේ සංවර්ධන න්‍යාය පත්‍රය මෙහෙයවීමට සමත් ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ සහ අනාගත අවශ්‍යතාවලට ගැළපෙන පරපුරක් බිහි කිරීම හරහා ශ්‍රී ලංකාව ආසියාවේ මානව සම්පත් සංවර්ධනයෙ හි කේන්ද්‍රය බවට පත් කිරීම අරමුණ බව ද සඳහන් කර තිබෙනවා.
එම සම්පූර්ණ නිවේදනය පහතින්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2021 – 2030 දස වසර ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කරයි. ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එමගින් අපේක්ෂා කෙරේ.
වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයේ සිටිය දී 2014 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවකින් ස්ථාපනය කළ “ලෝක යොවුන් නිපුණතා දිනය” අත් කර ගත් ප්‍රගතිය මත පදනම්ව නිපුණතා සංවර්ධන දශකය සැලසුම් කොට තිබේ. ගෝලීය ප්‍රවනතාවනය යෝග්‍ය පරිසි ඊළඟ පරපුරේ නිපුණතා ප්‍රවර්ධනය සහ ධරණීය සංවර්ධනය සඳහා වන ගෝලීය න්‍යාය පත්‍රය 2030 කේන්ද්‍ර කොට නිපුණතා සංවර්ධන දශකයේ ක්‍රියාකාරී සැලැස්ම සැකසේ.
දිවයිනේ නුපුහුණු ශ්‍රම බලකාය ජනගහණයෙන් 10% දක්වා අඩු කිරීම සහ රටේ සංවර්ධන න්‍යාය පත්‍රය මෙහෙයවීමට සමත් ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ සහ අනාගත අවශ්‍යතාවලට ගැළපෙන පරපුරක් බිහි කිරීමෙන් ශ්‍රී ලංකාව ආසියාවේ මානව සම්පත් සංවර්ධනයෙහි කේන්ද්‍රය බවට පත් කිරීම පිණිස සාමාන්‍ය අධ්‍යාපනය හැඩ ගැස්වීම නිපුණතා සංවර්ධනය දශකයෙන් අපේක්ෂා කෙරේ. අධ්‍යාපන අංශයේ ඇති කරන පරිවර්තනය මගින් විදේශ ආයෝජන සහ විදේශීය ශිෂ්‍යයන් ආකර්ශණය කර ගැනීමෙන් හා විදේශීය රැකියාවන්හි නිරත පුහුණු ශ්‍රමිකයින් ද උපයන විදේශ විනිමය වර්ධනය කිරීමෙන් වැඩිපුර ආදායම් ජනනය තවත් අපේක්ෂාවකි.
‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුව ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රගතිය අරභයා රට වැසිය සතු දැනුම, නිපුණතා සහ හැකියාවන් ඉතා වැදගත් සාධක සේ සලකයි. ‘අපේ තරුණයන්ට සහ දේශීය ව්‍යවසායකයනට නව ඉඩ ප්‍රස්ථා උදා කරන, හැම දෙනාටම අලුත් බලාපොරොත්තු සහ අභිමානය පිළිබඳ හැඟීම ඇති කරන, ජනතාවට තමන් පිළිබඳ හැඟීම ඇති කරන, ජනතාවට තමන් තොරාගන්නා කුමන ක්ෂේත්‍රයක වුවද ලෝක නායකයන් බවට පත් විය හැකි පරිදි ස්වකීය නිපුණතා, සමත්කම් සහ ව්‍යාපාරික විනිශ්චය ප්‍රයෝජනයට ගැනීමට ඉඩ සලසන පරිසරයක් නිර්මාණය කිරිම’ පිණිස නිශ්චිත අධ්‍යාපන සැලැස්මක් සම්පාදනය කොට ක්‍රියාකිරීමේ අවශ්‍යතාව ඉන් අවධාරණය කර තිබේ.
වත්මන් අධ්‍යාපන ක්‍රමය සමාලෝචනය කොට ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පරිවර්තනීය ක්‍රියාකාරී ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පරිවර්තනීය ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කරනු වස් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා විසින් දැනටමත් ස්ථාපනය කර ඇත. කාර්යසාධක බලකාය ඉදිරිත් කළ අධ්‍යාපන අංශයේ දිගු කාලීන ගැටළු විමර්ශනය කළ ජනාධිපතිතුමා, රටක වඩාත්ම වටිනා වත්කම අනාගත පරපුර බවත්, සියලු රට වැසියනට ස්වකීය විභවතා පුබුදු කොට ප්‍රීතිමත් පවුල් ජීවිතයක් භුක්ති විඳිමින් නීතිගරුක පුරවැසියෙකු ලෙස සමෘද්ධිමත් හා තෘප්තිමක් ජීවිතයක් ගත කිරීමට ඉවහල් වන පරිදි මානව සම්පත් සංවර්ධනය රජයන මූලික වගතීම බවත් අවධාරණය කළේය. ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම අනුව සැකසෙන නිපුණතා සංවර්ධන දශකයේ මාර්ග සැලැස්ම ජීවිත කාලය පුරා ඉගෙනිම දිරිමත් කරමින්, අධ්‍යාපනයට පිවිසීමේ බහුවිධ අවස්ථා හඳුන්වා දීමටත්, ශ්‍රී ලංකාවෙ නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ ඉදිරියට යන විට සියලු දෙනාට ඊට එක් විමේ අවස්ථාව සැලසීමටත් ප්‍රමුඛත්වය දෙයි.
හඳුන්වා දී ඇති ප්‍රවේශයන් ශිෂ්‍යයන්, අධ්‍යාපනඥයන්, දෙමාපියන් සහ වෘත්තිකයින් වැනි කණ්ඩායම්වල සේම ජාතික මට්මමේ ආයතනවල සැබෑ අවශ්‍යතා සපුරාලීමට සමත්දැයි දැනගනු පිණිස පරිවර්තනීය වැඩ සැලැස්ම පිළිබදව ඉදිරි සති කිහිපය තුළ මහජන සංවාදයක් ඇති කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.
නිපුණතා සංවර්ධන දශකයට අදාළ පරිවර්තනීය න්‍යාය පත්‍රය අවසන් වරට සකස් කිරීමේ දී මහජන අදහස් ද සැලකිල්ලට ගැනේ. අනාගතයට යෝග්‍ය, තමන් තෝරාගන්නා ක්ෂේත්‍රයේ ලෝක නායකයන් බවට පත් වීමට සමත්, සියලු ශ්‍රී ලාංකිකයන් තුළ අභිමානය ඇති කරන සහ ජාතියේ සංවර්ධනයට උර දෙන පරපුරක් බිහි කිරීම සඳහා වූ ජනාධිපතිතුමාගේ අභිලාෂය සාක්ෂාත් කරනු පිණිස අධ්‍යාපන, කර්මාන්ත හා ශ්‍රමික අංශවල සම්බන්ධීකරණ සැලැස්ම යථාර්තයක් බවට පත් කිරීමට අපේක්ෂිතය.
ජනාධිපති මාධ්‍ය අංශය
2020-07-14

