,
Covid-19

අසත්‍ය තොරතුරු බෙදා හරින්නන් සොයන්න CID කණ්ඩායමක් 3ක්, ජාතික පුවත්පතක් ගැනත් පරීක්ෂණ

(RIVIRA.LK, 2020 ජුලි 16 පෙරවරු 09.24ට)

කොවිඩ්-19 වෛසරයේ පැතිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයින් සොයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ජූලි 15 දින සඳහන් කළේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් 26 දෙනෙකු පමණ අදාළ විමර්ශන සඳහා යොදවා ඇති බවයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර නිර්මාණය විමත් සමග කොරෝනා වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පැතිර යමින් පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

එසේම ජාතික පුවත්පතක ද එවැනි වැරදි තොරතුරු වාර්තා කර ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය. මහනුවර ප්‍රදේශයේ පුද්ගලයින් 600ක් සම්බන්ධයෙන් ජාතික පුවත්පතක් විසින් ජූලි 15 දිනයේදී පළ කර තිබූ පුවතක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය. අදාළ ජාතික පුවත්පතේ මුල් පිටුවේ “කන්දකාඩු කොවිඩ් පොකුරේ ඊයේ වැඩිම පිරිස මහනුවරින්” යන ශීර්ෂ පාඨය යටතේ පළ කර තිබූ පුවත සම්බන්ධවයි අදාළ පරීක්ෂණ සිදු කෙරෙන්නේ. ඒ වන විට කන්දකාඩු මධ්‍යස්ථානයට පිටතින් හමුවී තිබුණේ රෝගීන් 20 දෙනෙකු පමණක් බවත් ඔවුන්ගෙන් 16 දෙනෙකුම රාජාංගනය ප්‍රදේශයෙන් වාර්තා වී තිබූ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

යම් කරුණක් පිළිබඳ ජනතාව අතර අසන්තෝෂය ඇති කිරීම “ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120“ වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. ඒ යටතේ වසර 2ක කාලයක් බන්ධනාගාර ගත කළ හැකි බව නියොජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය. එසේම මෙවැනි පුද්ගලයින් වරදකරු වුවහොත් දඩයකට ද ලක් කළ හැකි බව ද කියාසිටියේය.

විශේෂයෙන්ම නිරෝධායන නීතින් අනුව ද මෙවැනි වැරදි තොරතුරු සමාජගත කිරීම වරදක් වන බවත් පැවසු නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලා සිටියේ, සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය වන තොරතුරු නිල වශයෙන් ම අදාළ ආයතන මගින් තහවුරු කළ තොරතුරක් බව නොදන්නේ නම් තම ගිණුම්වලින් එම පුවත් බෙදා හැරීමෙන් වළකින ලෙසයි.

Rivira Ads
To Top