,
Covid-19

මෙරට PCR පරීක්ෂණ 130,000 පසු කරයි, මිලියනයකට 6,000යි

(RIVIRA.LK, 2020 ජුලි 16 පස්වරු 12.10ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කිරීම සඳහා සිදුකරනු ලබන PCR පරීක්ෂණ ජූලි 16 දින වන විට 130,000කට අධික ප්‍රමාණයක් මෙරට දී සිදුකර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා.

මේ වන විට සිදුකර ඇති සමස්ත පරීක්ෂණ ගණන 130,390ක් වන අතර එම ප්‍රමාණය ජනගහණයට සාපේක්ෂව ජනගහණය මිලියනයකට 6,092 ඉක්මවා තිබෙනවා.

එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව රැසක් කියා සිටින්නේ මෙරට සිදුකරනු ලබන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවයි. එසේම අහඹු පරීක්ෂණ වැඩි වශයෙන් සිදුකරනවා වෙනුවට සැක සහිත රෝගීන් සහ ආශ්‍රිතයින් හඹාගෙන ගොස් සිදුකරනු ලබන පීසීආර් පරීක්ෂණ ගණන ඉහළ දැමිය යුතු බව ඔවුන්ගේ අදහසයි.

ජනගහණයට සාපේක්ෂව සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ ගණන අතින් දකුණු ආසියාව තුළ ශ්‍රී ලංකාව බොහෝ කලක් ඉදිරියෙන් සිටිය ද මේ වන විට සිටින්නේ යම් පහළ ස්ථානයක වීම කණගාටුදායක තත්වයකි. කන්දකාඩු කඳවුර මගින් තවත් පොකුරක් බිහිවීමට එක් හේතුවක් ලෙස අවම පරීක්ෂණ ප්‍රමාණය හේතු වී ඇති බව වෛද්‍ය සංගමය ඇතුළු සෞඛ්‍ය අංශවල අදහසයි.

ඉන්දියාව තුළ මේ වන විට සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන මිලියන 12ක් හෙවත් කෝටි 1.2ක් ඉක්මවා ඇති අතර ජනගහණයට සාපේක්ෂව එම අගය ජනගහණය මිලියනයකට 9,228කි.

පාකිස්ථානය තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන මිලියන 1.6ක් වන අතර ජනගහණය මිලියනයකට සිදුකර ඇති පරීක්ෂණ ගණන 7,475කි.

බංගලාදේශය තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන මිලියනයකට ආසන්න වන අතර ජනගහණය මිලියනයකට සිදුකර ඇති පරීක්ෂණ ගණන 5,951කි.

Rivira Ads
To Top