(RIVIRA.LK, 2020 ජුලි 17 පස්වරු 08.35ට)
වැලිසර නාවික හමුදා කඳවුරට කොරෝනා වෛරසය පැතිරීමට හේතු වූ බව කියන සුදු වැල්ලෙන් හමුවූ පළමු සහ මෙරට ‘206 වැනි’ රෝගියා, තමන්ට නාවික හමුදාවට කොරෝනා වෛරසය බෝ කිරීමේ චෝදනාව භාර ගත නොහැකි බව පවසනවා.
AP පුවත් සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් 33 හැවිරිදි ප්‍රසාද් දිනේෂ් මේ බව පවසා තිබේ. එමෙන්ම, කොරෝනා වෛරසය පැතිරීමෙන් තමන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමට හැකි වූ නිසා එයින් තමන්ට හොඳක් වූ බවත් ඔහු එහිදී පවසා තිබෙනවා.
2002 වර්ෂයේ හෙරොයින් පානය සඳහා යොමු වී සිටි ප්‍රසාද් දිනේෂ් වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස කටයුතු කරනු ලැබුවා.
” රටේ නීතිය අනුව මත්ද්‍රව්‍ය භාවිතා කිරිම වැරදි ක්‍රියාවක්. මම තදින්ම එයට ඇබ්බැහි වී සිටිය කෙනෙකු නොවේ. නමුත් කොරෝනා වසංගතය නිසා රටේ සංචරණ සීමා පැනෙව්වට පස්සේ මම දෛනිකව මත්ද්‍රව්‍ය භාවිත කළා.
මත්ද්‍රව්‍ය මිලදී ගන්න ඕන නිසා තවත් තුන්දෙනෙක් එක්ක එකතු වෙලා සොරකම් වල යෙදුණා. එවැනි අවස්ථාවකයි මාව අහුවුනේ.
නමුත් මගෙන් නාවික හමුදාවට කොරෝනා පැතිර ගියා කියන සිදුවීමට මම හේතුවක් වූ බවට වන චෝදනාව පිළිගන්න අමාරුයි.
නමුත් මම දැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ. මම අඩුම තරමින් දුම්වැටියක් වත් පානය කරන්නේ නැහැ. හැමදෙයකින්ම මම ඈත් වෙලා පාඩුවේ මගේ ළමුන් දෙදෙනා එක්ක ඉන්නවා.
මම මත්ද්‍රව්‍යට තදින්ම ඇබ්බැහි වෙලා හිටියේ නැති නිසා මට ලොකු අමාරුවක් වුනේ නැහැ. කොරෝනා ආපු එකෙන් උනේ හොදක්. මම අද ඒ පුරුද්දෙන් නිදහස්.
නමුත් මගෙන් කොරෝනා ව්‍යාප්ත උනා කියලා ඇතිවූ තත්ත්වය නිසා මට අද රැකියාවක් නැහැ. අඩුම තරමින් මට රැකියාවක් කවුරුවත් දෙන්නේ නැහැ.” යැයි ඔහු එහිදී පවසා ඇත.
ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ පවසන පරිදි ප්‍රසාද් දිනේෂ් හරහා කොරෝනා ආසාදිත පොකුරු 03ක් නිර්මාණය වී ඇති අතර ඒ හරහා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,100ක් වේ.
වැලිසර නාවික හමුදාවේ සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 950ක පමණ පිරිසක් සහ ජා-ඇල සුදුවැල්ල සහ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ ඇතිවූ අනෙක් කොරෝනා පොකුරු දෙක ඇසුරෙන් රෝගීන් 150ක් ද වාර්තා විය.

