(RIVIRA.LK, 2020 ජුලි 17 පස්වරු 08.53ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 17 සිකුරාදා පස්වරු 08.30 වන විට 2,689ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 17 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 2ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
දිනය තුළ රාජාංගනය ප්‍රදේශයේ දානමය පිංකමකට සහභාගි වූ පිරිස් අළලා කරන ලද පරීක්ෂණ 139 කට අනුව අවුරුදු 12 එක් දරුවකු කොවිඩ්-19 රෝගියකු ලෙස හඳුනාගෙන තිබෙනවා.
මීට අමතර ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකු ද ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් කන්දකාඩු පොකුරට අදාළව නව ආසාදිතයින් හමුවීම මේ වන විට මන්දගාමී වී තිබෙනවා.
මේ වන විට විවිධ ප්‍රදේශ වල PCR පරීක්ෂණ කරනු ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා. ඒ අනුව කොළඹ මහනගර සීමාව තුළත් කරනු ලැබූ පරීක්ෂණ 174කින් කිසිදු රෝගියකු වාර්තා වී නැති බව ද ඔහු සඳහන් කළා.
මේ අනුව, මේ අවස්ථාව වන විට මෙම කන්දකාඩු මධ්‍යස්ථානය ආශ්‍රිත පොකුර සම්බන්ධයෙන් යම්කිසි පාලනය වූ තත්වයකට පැමිණෙමින් ඇති බව පෙනී යන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,012කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 666ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 99ක් බවද සඳහන් වේ.

