(RIVIRA.LK, 2020 ජුලි 18 පස්වරු 2.26ට)
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ගම්පහ, වැරැල්ලවත්ත පදිංචි උපදේශකවරයෙකු සහ ඔහුගේ රියදුරු ලෙස කන්දකාඩු මධ්‍යස්ථානයට ගිය බණ්ඩාරවත්ත පදිංචිකරුවෙකු පසුගිය ජුලි 13 වන දින කොරෝනා ආසාදිත බවට තහවුරු විය.
එහිදී රියදුරා වශයෙන් කටයුතු කර තිබෙන ගම්පහ, බණ්ඩාරවත්ත, ටිකිරිරාජ මාවතේ පදිංචි පුද්ගලයා පසුගිය ජුලි 07 වෙනිදා ගම්පහ අධිකරණයේ පැවති නඩු විභාගයකට අදාළව විවෘත අධිකරණයේදී සාක්ෂි පවා ලබාදී ඇති බවට කරුණු අනාවරණය විය.
ඒ අනුව, ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පී.සී.ආර් පරීක්ෂණයන්ට ලක්කළ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 101 දෙනා අතරින් ඥාතී සමීපතමයින් දෙදෙනෙකුට ද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ සඳහන් කරයි.
මෙහිදී ආශ්‍රිතයින් පරීක්ෂාවට ලක්කළ පිරිසගේ වාර්තා අනුව අධිකරණයෙහි පිරිස අතුරින් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ. එහෙත් බණ්ඩාරවත්ත පදිංචි ආසාදිතයාගේ සමීපතමයින් දෙදෙනෙකුට වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී ඇතැයි වෛද්‍ය සුභසිංහ මහතා සඳහන් කරයි..
මෙම සමීපතමයින් බණ්ඩාරවත්ත සහ වැරැල්ලවත්ත යන ප්‍රදේශයන්හි පදිංචි 63 හැවිරිදි තැනැත්තියක් සහ 45 වියැති පුද්ගලයෙකු වන අතර මෙම දෙදෙනා රියදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයාගේ ඥාතීන් දෙදෙනෙකි. මෙම දෙදෙනා ඊයේ (17) රාත්‍රියේම ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරුවී සිටින වැරැල්ලවත්තේ පදිංචි 45 හැවිරිදි තැනැත්තා ගම්පහ නගරය ආශ්‍රිත අර්ධ රාජ්‍ය විදුහලක ගුරුවරයෙකු ලෙස කටයුතු කරන්නෙකු බවත් මෙම අය විසින් උපකාරක පන්ති කිහිපයක භෞතික විද්‍යාව විෂය උගන්වා ඇති බවත් අනාවරණයවී ඇති බවද වෛද්‍ය සුභසිංහ මහතා සඳහන් කරයි.
බණ්ඩාරවත්ත පදිංචි ආසාධිතයා නඩු කටයුත්තක් සඳහා ගම්පහ අධිකරණ ශාලාවක් වෙත ඉකුත් 6 වෙනි දින ගොස් ඇති බැවින් එම අධිකරණයෙහි අට දෙනෙකු පී.සී.ආර් පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර බණ්ඩාරවත්ත සහ වැරැල්ලවත්ත ආසාදිතයින් දෙදෙනාගේ සමීපතමයින් ඉකුත් 14 වෙනි දින සිට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් උපකාරක පන්තිවලට සහභාගිවූ පිරිස නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් පවසයි.
තවද රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන් විසින් උපකාරක පන්තිවලට සහභාගි වූ සිසු සිසුවියන් හඳුනාගැනීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ පවුල්වල සහ ආසාදිතයින් බවට හඳුනාගත් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින්ද නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.

