,
News

පාසල් නිවාඩුව සතියකින් දීර්ඝ කරයි

(RIVIRA.LK, 2020 ජුලි 18 පස්වරු 3.03ට)

පාසල් සඳහා ලබා දුන් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එමෙන්ම, අධ්‍යාපන පොදු සහතික උසස්පෙළ විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දිනයන් ලබන සඳුදා දිනයේදී දැනුම් දෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කරයි.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබුණු පාසල් අදියර 4ක් යටතේ විවෘත කිරීමේ කටයුතු සිදු වූ අතර එහි දෙවන අදියර ජුලි 06 වන දින ක්‍රියාත්මක කරමින් 13,11 සහ 5 යන ශ්‍රේණිවලට අධ්‍යාපන කටයුතු ඇරඹිණි.

නමුත් යළි කොවිඩ් – 19 වසංගත තත්ත්වය වර්ධයක් පෙන්නුම් කිරීම හේතුවෙන් පසුගිය සතිය තුළ පාසල් තාවකාලිකව වසා දැමීමට අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම තීරණය කළේ ය.

කෙසේවෙතත්, පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ ජුලි 17 වන දින අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබා දී තිබේ. එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය නිර්දේශ මගින් ඉදිරිපත් කර ඇත්තේ එළඹෙන සතිය තුළ ද පාසල් වසා තබන ලෙසයි.

ඒ අනුව, ජුලි 18 වන සෙනසුරාදා දින අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව පාසල් සඳහා ලබා දී තිබෙන නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

Rivira Ads
To Top