(RIVIRA.LK, 2020 ජුලි 19 පස්වරු 2.30ට)
ඉන්දියාවේ දිනෙන් දින වර්ධනය වන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කොරෝනා වාහකයන් ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා මන්නාරම සහ තලෙයිමන්නාරම මුහුදු සීමාවේ ආරක්ෂක රැකවල් තරකොට ඇතැයි නාවික හමුදාව පවසයි.
ඉන්දියාවට ආසන්නයේම පිහිටා ඇති තලෙයිමන්නාරම් මුහුදු කලාපය හරහා ධීවරයන් ලෙස වෙස් ගෙන මෙරටට ඇතුළු වීමට ඉන්දියානුවන් උත්සාහ කරන බැවින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මන්නාරම් ධීවරයන්ද ඒ පිළිබඳව දැනුවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ජුලි 17 වන සිකුරාදා දිනයේ දී නාවික හමුදාවේ ජේයෂ්ඨ නිලධාරීන්, පොලිසිය, රාජ්‍ය නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ සහභාගිත්වයෙන් මන්නාරම දිස්ත්‍රික් ලේකම් සී.ඒ. මෝහන්රාස් මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී අවධාරණය කෙරිණි.
උතුරේ ගොවිබිම්වල මෙන්ම දකුණේ වැඩබිම්වල දෛනික පදනම යටතේ රැකියාවල නිරතවීම සඳහා දකුණු ඉන්දියානුවන් ගන්නා උත්සාහයන් වැළැක්වීම සඳහා ගත යුතු පියවර ගැන තීරණ ගැනීමට මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

