කොවිඩ්-19

මිනිත්තු 20න් කොරෝනා ආසාදිත බව තහවුරු කළ හැකි පරීක්ෂණයක් ඕස්ට්‍රේලියාව සොයා ගනියි

Photo - Reuters

(RIVIRA.LK, 2020 ජුලි 19 පස්වරු 3.37ට)

ඕස්ට්‍රේලියානු පර්යේෂක කණ්ඩායමක් විසින් රුධිර සාම්පල මඟින් මිනිත්තු 20ක් ඇතුළත දී කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කර ගත හැකි පරීක්ෂණයක් සොයා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ, BioPRIA, සහ CBNS යන ආයතනවල පර්යේෂකයින් පිරිසකගෙන් යුතු කණ්ඩායමක් මෙම නව පර්යේෂණය සොයා ගෙන තිබේ.

කිසියම් පුද්ගලයෙක් දැනට කොවිඩ් ආසාදනයට ලක් වී සිටී ද? යන්න මෙන්ම අතීතයේ දී කොවිඩ් වෛරසය ආසාදනය වී සිටියේ ද යන්නත් මෙහිදී හඳුනාගත හැකි බව එම පර්යේෂකයෝ පවසති.

පරීක්ෂණය සඳහා රුධිර ප්ලාස්මාවෙන් මයික්‍රො ලීටර් 25ක් භාවිත කෙරෙන අතර මෙය සාර්ථක වුවහොත් කොවිඩ් පරීක්ෂණ සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වයේ ප්‍රබල වෙනසක් සිදුවනු ඇති බව පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් පවසයි. කොවිඩ් එන්නත් සායනිකව අත්හදා බැලීමේදී ශරීරයේ නිපදවන ප්‍රතිදේහ හඳුනා ගැනීමටත් මෙම පරීක්ෂණය උපයෝගී කරගත හැකි බව සඳහන්ය.

මේ වන විට මෙම පරීක්ෂණය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම් කර ඇති අතර එය මහා පරිමාණයෙන් නිෂ්පාදන කටයුතු සඳහා රජය විසින් අවශ්‍ය සහයෝයගය ලබා දීමට ද සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පර්යේෂකයින් සඳහන් කරන අන්දමට මෙම නිෂ්පාදනය සාර්ථක වුවහොත් පැයක් තුළ කොරෝනා පරීක්ෂණ 100ක් පමණ සිදු කිරීමට හැකියාව ලැබෙන අතර එය වසංගත තත්ත්වයට මුහුණ දීමට මනා පිටුවහලක් වනු ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top