දේශීය පුවත්

මුද්දර යන්ත්‍ර අවභාවිතා කිරීම පිළිබඳ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර විමර්ශනයක්

(RIVIRA.LK, 2020 ජුලි 19 පස්වරු 6.32ට)

බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රී නිමල් ආර් පීරීස් මහතාට රාජ්‍ය සේවා තැපැල් සහනය වෙනුවෙන් ලබා දී තිබු මුද්දර යන්ත්‍රය අවභාවිත කිරීමේ සිද්ධිය පිළිබඳව මධ්‍යම තැපැල් හුවමාරුවේ හෝ තැපැල් කාර්යාල බලධාරීන් දැන සිටීද යන්න පිළිබඳව මේ වන විට විශේෂ විමර්ශනයක් අරඹා ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ගණනාවක්ම සිය තනතුරු අහිමිවීමෙන් පසු මෙම යන්ත්‍ර ආපසු තැපැල් දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයි ද ඒ පිළිබඳව සොයා බලමින් යන බවද තැපැල්පති සඳහන් කරයි. තැපැල් දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය මගින් මෙම විශේෂ අභ්‍යන්තර පරීක්ෂණය සිදු කරන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මේ අතර, රුපියල් 113,460ක තැපැල් ගාස්තු අවභාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිමල් ආර් පීරිස් රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ජුලි 19 වන දින නියෝග කළා.

නිමල් ආර්. පීරිස් විසින් පෙර ලබාගත් නිදහස් තැපැල් මුද්‍රාවක් වෙනුවෙන් 2018 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඔහු විසින් ලිපි 7564 ක් පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ තැපෑලට යොමු කර තිබූ බවට තලවතුගොඩ තැපැල් ස්ථානාධිපතිවරයා විසින් තලංගම පොලිසියට කළ පැමිණිල්ලක් මත ජුලි 18 වන දින පස්වරුවේ ඔහුගේ නිවෙස පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත්තේය.

සිදු කළ සෝදිසි කිරීම්වලදී මුද්‍රා තැබීමට යොදා ගත් තැපැල් මුද්‍රා යන්ත්‍රය සහ සමගි ජන බලවේගයේ රැස්වීමක් සඳහා ඇරයුම් කිරීමට සකස් කළ ලිපි 3000 ක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව, පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට පත් නිමල් ආර්.පීරිස් මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ජුලි 19 දහවල් ඉදිරිපත් කළ අතර එහිදී ලක්ෂ 50 ක් බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදා හැරීමට කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි නියෝග කළේය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top