දේශපාලන

‘මට ඕනේ පක්ෂයේ පළවැනියා වෙන්න’ – නවීන් නායකත්ව සිහිනය ගැන කියයි

(RIVIRA.LK, 2020 ජුලි 19 පස්වරු 9.39ට)

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවත් ඒ සඳහා තමන් සුදුසු බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පවසනවා.

එමෙන්ම, තමන් මේ වන විට පක්ෂයේ ඉහළම තැනක සිටින බවත් පක්ෂ නායකත්වය ලබා ගැනිමෙන් අනතුරුව තමන් අගමැති හෝ ජනාධිපති ලෙස පත්වුවහොත් තමා මුලින්ම වැඩ කරන්නේ නුවරඑළියේ තමන්ගේ ජනතාවට බව ද ඔහු පවසනවා.

නවීන් දිසානායක මේ බව සඳහන් කළේ, හැටන් – දිඹුලපතන ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ය.

එහිදී අදහස් දක්වමින් ඔහු, ‘පක්ෂ නායකත්වයේ වෙනසකුත් වෙන්න ඕන. අවුරුදු 26ක් එක පුද්ගලයෙක්ට පක්ෂ නායකයා වෙලා ඉන්න බැහැ. අපි ඒක ඕපන්ලි කියනවා. ඒක හංගන්න දෙයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා 25 වැනිදා එනවා නුවරඑළියට. අපි එතුමාට ඕපන්ලි කියනවා.

එක්සත් ජාතික පක්ෂය ඇතුලේ මම ඉන්නවා ඉහළම තැනක. මං හිතනවා මට පුළුවන් කියලා පක්ෂයේ නායකයා වෙන්න. පක්ෂ නායකයා වෙලා මේ රටේ ඉහළම පුටුවකට, ජනාධිපති නැත්නම් අගමැති වුනොත් කවදාහරි, මම ඉස්සෙල්ලම වැඩ කරන්නේ මගේ නුවරඑළිය ජනතාවට.

දැන් අවුරුදු 20ක් මං දැන් දේශපාලනය කරලා තියෙනවා. දැන් පක්ෂයේ තුන හෝ හතරට මං ඉන්නවා. මට දැන් ඕනේ පක්ෂයේ පළවැනියා වෙන්න. ඒකට මට පුංචි තල්ලුවක් දෙන්න’ යැයි පැවසුවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top