(RIVIRA.LK, 2020 ජුලි 20 පස්වරු 01.33ට)
නුගේගොඩ ගුවන් පාලම මත සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබලෙකු මියගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ජූලි 20 දින පෙරවරුවේ වැසි සහිත කාලගුණික තත්වයක් පැවතී ඇති අතර ගුවන් පාලම මතින් ගමන් කළ පෞද්ගලික බස් රථයක් තවත් පෞද්ගලික බස්රථයක් පසු කර යෑමට උත්සාහ කිරීමේ දී ඉදිරිපසින් පැමිණි යුද හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී තිබෙනවා.
අදාළ ගුවන් පාලම මංතීරු දෙකක් සහිත පටු ගුවන් පාලමක් වන අතර ද්විත්ව ඉරි සහිත බෙදුම් රේඛාවකින් මංතීරු වෙන් කර තිබෙනවා. එහි දී කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ගුවන් පාලම මත දී තවත් පෞද්ගලික බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීම අතිශය අනතුරුදායක තත්වයකි.
එහිදී නිවැරදි මංතීරුව තුළ ධාවනය කළ මහරගම දෙසට යාමට පැමිණි යුද හමුදා කැබ් රථය, වැරදි මංතීරුවෙන් ඉස්සර කරගෙන පැමිණි බස් රථය සමග මුහුණට මුහුණ ගැටෙන අයුරු සීසීටීවී දර්ශනවල සටහන් වී ඇත.
අනතුරින් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ, වයස අවුරුදු 35ක් වු වතුරවල, නින්දාන, අම්බලන්ගොඩ යන ලිපිනයේ පදිංචි අදාළ යුද හමුදා කැබ් රථය පැදවූ හමුදා සෙබලායි.
අනතුරින් තුවාල ලැබූ සෙසු හමුදා සෙබලුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර අනතුරට සැකපිට බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිහාන පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකාර බස් රථයේ රියදුරු ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළා.

