(RIVIRA.LK, 2020 ජුලි 21 පෙරවරු 11.32ට)
කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බුවනෙකභාහු රජු විසින් සිය රාජ සභා මණ්ඩපය පවත්වාගන ගොස් ඇති බව කියන කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ලීවලින් ඉදි කළ අට්ටාලයක් සහිත ස්ථානයක් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණගේ මැදිහත්වීමෙන් ජූලි 14 අඟහරුවාදා රාත්‍රියේ දී කඩා බිඳ දමා විනාශ කර තිබුණා.
එලෙස කඩා දමා තිබුණේ එම පරිශ්‍රය පිටුපසින් දිවෙන මාර්ගයක් පුළුල් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් බව කියන අනුමැතියක් යටතේ යි.
ප්‍රථමවරට කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බුවනෙකභාහු රජුගේ අදාළ රාජ සභා මණ්ඩප අට්ටාලය ආරක්ෂා කිරීම සඳහා පසුකාලීනව ගොඩ නැගිල්ලක් ද ඉදිකර තිබූ අතර කුරුණෑගල නගර සභාව විසින් අදාළ ගොඩනැගිල්ල තුළ හෝටලයක් පවත්වාගෙන ගොස් තිබුණා.
කෙසේ වෙතත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ජූලි 16 දින අදාළ අට්ටාලය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සියලු කටයුතු යොදා තිබූ තත්ත්වයක් මත අදාළ ගොඩනැගිල්ල විනාශ කර ඇති බවයි.
මේ අතර එම ගොඩනැගිල්ල කඩා දැමීමේ අවදානමක් තිබූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මීට පෙර සිටම දැනුවත් වී තිබෙනවා. ඒ අනුව අදාළ ගොඩනැගිල්ලට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස පොලීසියට උපදෙස් ලබා දීමක් ද සිදුකර තිබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
පසුගිය කාලය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කය සංවර්ධන කිරීමේ දී පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන 10ක් හඳුනාගෙන නම් කර තිබෙන අතර අදාළ මණ්ඩපය ද එම ගොඩනැගිල්ල ද පුරාවිද්‍යාත්මක ස්මාරකයක් සේ සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන ගොස් තිබෙනවා.
නගරාධිපතිගේ අදහස
මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ප්‍රකාශ කළේ ගොඩනැගිල්ලේ පිටුපස කොටසෙන් දිවයන මාර්ගයක් පුළුල් කිරීම සඳහා ගොඩනැගිල්ලේ කොටසක් කඩා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය තමාට අවසර ලබා දුන් බවයි. එහෙත් එම ස්ථානය පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් ඇති ස්ථානයක් නොවන බව ඔහු පවසනවා.
නමුත් අදාළ ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් බව නගරාධිපතිවරයා නොදැන සිටියා නම් ඔහු නගරාධිපතිධූරයට සුදුසු වන්නේ කෙසේදැයි ප්‍රශ්නයකි.
මේ අතර කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට සහ පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර ඇතත්, මේ දක්වා පොලීසිය ක්‍රියාත්මක වී නැතැයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පවසනවා.
ඇමති ජොන්ස්ටන්ටත් චෝදනා
නගරාධිපති තුෂාර සංජීව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ හිතවතෙකු වන බැවින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා එල්ල වෙනවා.
අගමැතිගේ කමිටුව
දෙවැනි බුවනෙකබාහු රජතුමාගේ කුරුණෑගල රාජ සභාව බව කියන ස්ථානය කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සංස්කෘතික ඇමතිවරයා වශයෙන් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.
කමිටුවේ සභාපතිවරයා වශයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක කටයුතු කරනු ලබන අතර කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් (දිසාපති) ආර්.එම් රත්නායක, පුරාවිද්‍යාඥ මහාචාර්ය ටී.බී. කුලතුංග, සංස්කෘතික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රසාද් රණසිංහ, සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට මෙම කමිටුවට ඇතුළත් සාමාජිකයින් වේ.
කමිටු වාර්තාව මෙම මස 23 දිනට පෙර ලබා දීමට නියමිතයි.
කමිටුවේ සාමාජිකයින් පසුගිය සෙනෙසුරාදා කුරුණැගලට ගොස් ස්ථානීය පරීක්ෂාවක් ද සිදු කර තිබෙනවා.
කෙසේ වෙතත් මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් අගමැතිවරයා සඳහන් කළේ බුවනෙකබාහු රාජ සභාව ලෙස සැලකෙන ස්ථානයේ පුරාවස්තු විනාශයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා ක්‍රියාකිරීමට කටයුතු කරන බවයි.
පුරාවිද්‍යා ස්මාරකය ප්‍රතිසංස්කරණය කර නැවත ස්ථාපිත කිරීමට පියවර
මේ අතර කුරුණෑගල මහ නගර සභාවේ මැදිහත්වීමෙන් කඩා බිඳ දමා විනාශ කර ඇති 13 වන සියවසේ බුවනෙකබාහු රජ සමයට අයත් බව කියන මෙම ගොඩනැගිල්ල සහ අට්ටාලය ප්‍රතිසංස්කරණය කර නැවත ස්ථාපිත කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යෝජනා කර තිඛෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද එකඟතාවය පළ කර ඇති බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර සඳහන් කළා.
ඒ අනුව නාවික හමුදාවට සහ ආරක්ෂක අංශවලට මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට පැවරීමට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙන බව ද වාර්තා වේ.
කඩා බිඳ දැමූවන් තවමත් නිදැල්ලේ
අදාළ රාජ සභා මණ්ඩප අට්ටාලය කඩා බිඳ දැමීමට පිළිබඳ සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කර තිබෙන තත්වයක එහි වාර්තාව ලැබීමටත් පෙර අදාළ ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට රජය තීරණය කර තිබීම ගැටළු සහගත තත්වයකි.
එය කඩා බිඳ දැමූ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව පොලිස් පැමිණිලි කිහිපයක්ම පවතින තත්වයක් තුළ ඔහුට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති පසුබිමක අදාළ ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගැනීම එම ගැටළු සහගත තත්වයට මූලික හේතුවයි.
මෙම සිදුවීමට අදාළව වගකිව යුතු පාර්ශව කිහිපයක් සිටින බව පෙනී යයි. පළමු චෝදනාව එල්ල වන්නේ කුරුණෑගල නගරාධිපතිවරයාටයි. දෙවැනි චෝදනාව එල්ල වන්නේ පුරාවිද්‍යාත්මක ස්ථානයක් කඩා දැමීමට අවසර දුන් බව කියන මාර්ග සංවර්ධන අධිකාරියටයි. තුන්වැනි චෝදනාව එල්ල වන්නේ අදාළ ස්ථානය කඩා බිඳ දැමීමේ අවදානමක් ඇති බැවින් එය ආරක්ෂා කරන ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ලබාදුන් උපදෙස් නොතකා සිටී පොලීසියටයි. අවසන් වශයෙන් පුරාවිද්‍යාත්මක ස්ථානයක් සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටයි.
වරදකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ සොයා බැලීමටත් ප්‍රථම අදාළ ගොඩනැගිල්ල යළිත්වරක් රජයේ වියදමින් ප්‍රතිසංස්කරණය කිරීම හරහා වැය වන්නේ රජයේ බදු මුදල් ය. සිදුවීමට අදාළව වරදකරුවන් සොයා ඔවුන්ගෙන් අදාළ මුදල් අය කර ගැනීම සහ මෙවැනි පුරාවිද්‍යාත්මක ස්ථාන කඩා බිඳ දමන්නන්ට එරෙහිව ඇති දඩුවම් පැනවීමට කටයුතු නොකිරීම රටේ අනෙකුත් පුරාවිද්‍යාත්මක ස්ථාන ද අවදානමට ලක් කිරීමකි.
බුවනෙකභාහු රජුගෙන් ගොඩ යන්න හදන දේශපාලන ගේම්කාරයින්
රට තුළ සිදුවන සෑම සිදුවීමකින් ම පුද්ගලික වාසි ලබාගැනීමට වෙහෙසන පුද්ගලයින් බොහෝ පිරිසක් සිටී. කණගාටුදායක කරුණක් වී ඇත්තේ 2020 මහමැතිවරණය අභියස සිදුව ඇති මෙම සිදුවීම මැතිවරණ වේදිකාවේ ප්‍රධානතම සටන් පාඨය වී තිබීමයි. ඒ හරහා මැතිවරණ වාසි ලබා ගැනීමට පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ කිරීම යොදා ගැනීම තුළින් සිදුවන්නේ අදාළ ස්ථානයට සිදුවූ විනාශයට සම්බන්ධ බව පෙනෙන දේශපාලනඥයින් අයත් දේශපාලන පක්ෂවල පාක්ෂිකයින් නිහඬ වීම හා ඒවා කඩා බිඳ දැමීම සමාජය හමුවේ සාධාරණීකරණය කිරීමයි.
රටට කෙතරම් හානිදායක යමක් වුවත් තම දේශපාලන පක්ෂයට අවාසියක් සිදුවන්නේ නම් අදාළ සිදුවීම සාධාරණීකරණය කිරීමට මෙරට දේශපාලන පක්ෂ පාක්ෂිකයින් හුරුපුරුදු වී සිටිති.
අනෙක් පසින් ප්‍රධානතම දේශපාලන ප්‍රහසනය වී ඇත්තේ පසුගිය කාලය මුළුල්ලේ නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන ඩෝසර් කෙරෙද්දී, මුහුදු මහා විහාරය අන්තවාදීන්ගේ ග්‍රහණයට ලක් වෙද්දී, දෙවනගල පුද බිම අන්තවාදීන්ගේ ග්‍රහණයට ලක් වෙද්දී නෑසු කන්ව සිටි දේශපාලනඥයින් කරුණෑගල බුවනෙකභාහු මණ්ඩපය කරේ තබාගෙන යාමයි. ඔවුන් සිදු කරන්නේ බුවනෙකභාහු රජුගේ භාහුවේ හෝ එල්ලී බලය ලබා ගැනීමේ ලැජ්ජා සහගත උත්සාහයක නිරත වීමයි.

