,
News

CIDයට ගොස් ප්‍රකාශය දෙන්නැයි අධිකරණයෙන් බදුර්දීන්ට නියෝග, මැකොගේ පිහිට අවසන්

(RIVIRA.LK, 2020 ජුලි 21 පස්වරු 05.35ට)

සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට ජූලි 27 දින පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ජූලි 21 දින නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පාස්කු ඉරු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජූලි 21 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වා අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මීට පෙර ජූලි 20 දිනයේ දී රිෂාඩ් බදුර්දීන්ට හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එහි අංක 3 විමර්ශන අංශයේ ස්ථානාධිපතිනිය විසින් ලිඛිතව දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත් “නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට” බව කියමින් මැතිවරණය අවසන් වන තෙක් පරීක්ෂණ කටයුතු අත්හිටුවන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා වෙත මැතිවරණ කොමිසම විසින් ජූලි 15 හා ජූලි 17 දිනැතිව ලිපි දෙකක් යොමු කර තිබුණා.

එහි ජූලි 17 ලිපිය උපුටා දක්වමින් රිෂාඩ් බදුර්දීන් තම නීතිඥවරුන් හරහා ජූලි 20 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබුණේ ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා මැතිවරණයෙන් පසු දිනයක් තමන්ට ලබාදෙන ලෙසයි.

කෙසේ නමුත් මෙම සියලු තත්වයන් පිළිබඳ අධිකරණය හමුවේ කරුණු වාර්තා කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත්තේ රිෂාඩ් බදුර්දීන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා නියෝගයක් ලබාදෙන ලෙසයි.

කරුණු සළකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ජූලි 27 සඳුදා දින පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන හිටපු ඇමතිවරයාට නියෝග කර තිබෙනවා.

Related News

රවී/රිෂාඩ් පරීක්ෂණ කල් දමන්නැයි මැකො කියයි, පොලිස් පරීක්ෂණ මග හැරීමට ඇති හොඳම ක්‍රමය මැතිවරණයකට තරඟ කිරීම ද?

Rivira Ads
To Top