(RIVIRA.LK, 2020 ජුලි 22 පෙරවරු 10.12)
ඉතිහාසයේ රජවරුන් පස්දෙනකු කර වූ වැව් පහක් ජලයෙන් පිරවීමට හැකි සාගරයක් මෙන් ජලාශයක්, මොරගහකන්ද නමින් තමන් නිර්මාණය කළ බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ප‍්‍රකාශ කළේ ය.
ඒ ජලාශය නිසා පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ යන මහා ජලාශ සියල්ලම අද ජලයෙන් පිරී තිබෙන බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොලොන්නරුව බැඳිවැව ප‍්‍රදේශයේ දී ජූලි 20 දින පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත‍්‍රිපාල සිරිසේන කියා සිටියේ ”ඉස්සර මේ කාලෙට වහිනවද? මේ කාලෙට වහින්නේ නෑ. දැන් අද මොකද වෙලා තියෙන්නේ. අද සම්පූර්ණයෙන්ම කාලගුණය වෙනස් වෙලා. ඇයි මේ? මොරගහකන්ද කළු ගඟ ජලාශය නිසා පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ මහ වැව් ඔක්කොම පිරුණා. වන ඝණත්වය වැඩි වුණා. වනාන්තර වැඩි වුණා. ස්වාභාවික සම්පත් ශක්තිමත් වුණා. ඒ නිසා කාලගුණික වෙනස්වීමක් පොලොන්නරුවේ සිදු වෙමින් පවතිනවා.” යනුවෙනි.
එසේම, “අනුරාධපුරයේ අනෙක් විදියම තමයි. නමුත් පොලොන්නරුව දිස්ත‍්‍රික්කය වටේම මහා ජලාශ ඔක්කොම පිරිලා. පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ කවුඩුල්ල, කන්තලේ මේ වැව් පහම අද පිරිලා. මේ වැව් පහ හැදුවේ රජවරු පස්දෙනෙක්. රජවරු පස්දෙනෙක් හදපු මේ වැව් පහ පුරවන්න මම සාගරයක් වගේ මොරගහකන්ද හැදුවා. ඒක තමයි පොලොන්නරුව ජනතාවගේ දුක නිවපු ජලාශය. තෙරුවන් සරණින් දෙවියන්ගේ පිහිටෙන් දැන් වැව්වල ජල මට්ටම ප‍්‍රශ්නයක් නෑ.” යනුවෙන් ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේ, “ජලය කියන්නේ සශ‍්‍රීකත්වය සහ ධනය. සශ‍්‍රීකත්වයෙන් තමා ධනය උපදින්නේ. ඒකට ජලය තියෙන්න ඕන. ඔබට අක්කර එකෙන් උඩ කුඹුරු ලක්‍ෂයක් තිබුණත් ජලය නැත්නම් වැඩක් නෑ. නියඟය කියන්නේ දුගීකම, දුප්පත්භාවය සහ නැති බැරිකම. ලංකාවේ දුගී බව ඇතිවෙන්න හේතුව නියඟය, වියළි බව. ඒක නිසා අපි පොලොන්නරුව ලොකු සංවර්ධනයකට ගෙනාවා. පාසැල් හැදුවා. රෝහල් හැදුවා. පාරවල් හැදුවා. දැන් පොලොන්නරුවට හොඳ අනාගතයක් තිබෙනවා. මම මෙතෙක් කරගෙන ආ සංවර්ධන කටයුතු තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යනවා. කවුරු කොහොම කිව්වත් අගෝස්තු මාසේ පස්වැනිදායින් පස්සේ පොලොන්නරුවේ සංවර්ධනයේ වගකීම සම්පූර්ණයෙන්ම මගේ අතේ කියන එක කියන්න ඕන.’ යනුවෙනි.

