(RIVIRA.LK, 2020 ජුලි 22 පෙරවරු 11.15)
රට තුළ කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් ඇඳිරී නීතිය පැනවීමත් සමග බොහෝ ස්ථානවල නැවතත් ක්ෂණික පොලිස් මාර්ග බාධක ස්ථාපිත කර තිබෙනවා. මෙම මාර්ග බාධක සඳහා යකඩ මාර්ග බාධක යොදාගෙන ඇති අතර යුධ සමයේ මෙන් මංතීරු අවහිරවන ලෙස යොදා තිබෙන අයුරු දකින්නට ඇත.
ඇඳිරි නීති කාලසීමාවෙන් පසුව ද මේ දක්වා එම මාර්ග බාධක බොහොමයක් ස්ථාපිත කර ඇති අතර කොළඹින් බැහැර ප්‍රදේශවල තවදුරටත් බහුලව දක්නට ලැබේ.
කෙසේ වෙතත් මෙම මාර්ග බාධක ස්ථාපිත කිරීමේ දී පිළිපැදිය යුතු ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළි නොපැදීම හේතුවෙන් බොහෝ අනතුරු ප්‍රමාණයක් සිදුව ඇති බව වාර්තා වේ. ඒවාගෙන් බොහොමයක් සිදුව ඇත්තේ රාත්‍රි කාලයේ දී වන අතර අදාළ මාර්ග බාධක හරි හැටි දිස් නොවීම හෝ අනතුරුදායක බව හැඟවෙන අනතුරු ඇඟවීමේ පුවරු හෝ නොමැති වීම ඊට හේතු වී තිබෙන බවට රියදුරන් චෝදනා කර සිටී.
අනෙක් පසින් ඇතැම් මාර්ග බාධකවලට යොදා ඇති විදුලි බල්බ ද අඩු එළියක් සහිත බවට චෝදනා නැගී ඇති අතර ඒවා යතුරු පැදියක බල්බයක් ලෙස දිස්වීම හේතුවෙන් ද මෙම අනතුරු සිදුවී ඇති බවට චෝදනා එල්ල වේ.
යොදා ගන්නා මාර්ග බාධකවලට ලුමිනස් තීන්ත හෝ පටි අලවා නොතැබීම හේතුවෙන් මෙම තත්වය උදා වී ඇත. අවම වශයෙන් මාර්ග බාධක පවතින ස්ථාන දුරට පෙනෙන තරම් ආලෝකයක් හෝ නොමැති බවට ද චෝදනා එල්ල වේ.

මේ අතර පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව පොලිස් මාර්ග බාධකයේ දී එම මාර්ග බාධකයේ හැපී අනතුරකට පත් යතුරුපැදිකරුවෙකුගෙන් රුපියල් 92,000ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව එම මාර්ග බාධකයේ සේවය කළ උප පෙලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ජූලි 21 දින අත්අඩංගුවට ගෙන ඇති බව මාරවිල පොලිසිය සඳහන් කළේ ය. එම පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා යතුරු පැදියකින් මීගමුවේ සිට හලාවත දෙසට ගමන් කරමින් සිටියදී අදාළ පොලිස් මාර්ග බාධකයේ ගැටී එහි තිබූ විදුලි පහනකට හානි සිදුවී ඇති අතර එම පුද්ගලයා එම විදුලි පහන ගෙනවිත් සවි කර දී තිබෙනවා. එහිදී මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයා යතුරු පැදිකරුගෙන් මුදල් ඉල්ලා ඇති තිබෙන අතර එම පුද්ගලයා එම අවස්ථාවේ කියා ඇත්තේ තමන් සතුව වෙනත් අයෙකුට දීමට නියමිතව තිබූ රුපියල් 92,000ක මුදල අනතුරු සිදුවූ අවස්ථාවේ දී අස්ථාන ගතවී ඇති බවයි. එබැවින් එම මුදල ආපසු තමන්ට ලබා දෙන ලෙස එම පුද්ගලයා පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා තිබෙනවා. එහිදී උප පොලිස් පරීක්ෂකවරයා විසින් එම පුද්ගලයාට බැන වැදී ඇති අතර පහර දීමක් සිදු කර තිබෙනවා.

