(RIVIRA.LK, 2020 ජුලි 22 පස්වරු 04.18ට)
කුරුණෑගල, බුවනෙකබාහු රජුගේ රාජ සභාව පවත්වාගෙන ගිය බව කියන ලී අට්ටාලය හා එය ආරක්ෂා කිරීම සඳහා ගොඩනගා තිබූ ගොඩනැගිල්ල කඩා දැමීම පිලිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද මහින්ද රාජපක්ෂ විසින් පත් කළ විශේෂඥ කමිටුවේ අන්තර් කාලින වාර්තාව ජූලි 22 දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාර දී තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.
එම වාර්තාවෙන් යෝජනා 5ක් ඉදිරිපත් කර ඇති අතර සිව්වැනි යෝජනාවෙන් වගකිවයුත්තන්ට දඩුවම් පමුණුවීම සහ පස්වැනි යෝජනාවෙන් අදාළ ස්ථානය යළි ප්‍රතිසංස්කරණය සඳහා වැයවන මුදල් වගකිව යුතු ආයතනවලින් සහ පුද්ගලයින්ගෙන් අයකර ගැනීමට යෝජනා කොට නිර්දේශ කර තිබෙනවා.
එම වාර්තාව මඟින් කමිටුවේ යෝජනා 5ක් අගමැතිවරයා වෙත ඉදිරිපත් කර ඇත. ඒවා නම්,
ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදුවී ඇත්තේ පියස්සේ කොටසකට හා ජනේල්වලට බැවින් එම කොටස් පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරීමේ හැකියාව ඇත. මුළුමනින්ම විනාශ වී ඇති පිටුපස කොටසේ දැව බාල්ක හා ගඩොළු ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සුරක්ෂිතව ඇත. එම නිසා මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විස්තරාත්මක ලෙස වාර්තාගත කර ඇති නිසා සහ සංරක්ෂණ සැලසුම් සකස්කර ඇති නිසා එම පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව පවතියි. එබැවින් පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කළ යුතුය.
මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම.
මෙම ස්ථානය පුළුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරීම.
මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම.
විනාශය ට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මඟින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම ලෙසය.
අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු ලේකම්වරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබීය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටී. ජී.කුලතුංග, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී. ඒ. කිත්සිරි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබලන සංවර්ධන අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට මහත්මිය, බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ මෙම කමිටුව නියෝජනය කරයි.

