දේශීය පුවත්

ලක්ෂ 6කට අධික සමස්ත රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාබ – අගමැති යෝජනාවට කැබිනට් අනුමැතිය

(RIVIRA.LK, 2020 ජුලි 22 පස්වරු 10.51)

රාජ්‍ය සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය ලක්ෂ 6ක් පමණ වන සියලුම විශ්‍රාමිකයන් වෙත අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට ජූලි 22 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී තිබේ.

මින් පෙර අග්‍රහාර රක්‍ෂණ ප්‍රතිලාභය හිමිව ඇත්තේ 2016 ජනවාරි 01 දිනට පසු විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට පමණි. එසේ ප්‍රතිලාභ ලැබූ පිරිස සමස්ත විශ්‍රාමිකයින්ගෙන් සියයට 10ක් තරම් සුළු පිරිසක් පමණක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව ඉහත කී දිනයට පෙර විශ්‍රාම ගිය ලක්‍ෂ හයක් පමණ වන විශ්‍රාමිකයින්ට මෙම රක්‍ෂණයට දායකවීමේ අවස්ථාවක් මෙතෙක් ලැබී නොතිබූ බව ද අගමැතිවරයා කියයි. ඒ අනුව ඔවුන්ටද එය ලබාදීමට අගමැතිවරයා කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටී.

අග්‍රහාර රක්‍ෂණ ක්‍රමය තවත් පුළුල් කරමින් සියලු විශ්‍රාමිකයින්ට වඩා උසස් ජීවන මට්ටමක් ලබාදීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇති බව අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව රජයේ සේවකයනට හා සියලු විශ්‍රාමිකයන්ට ඉහළ ගුණාත්මක අගයෙන් යුත් විශේෂ සෞඛ්‍ය සේවා ක්‍රමයක් සැකසීම සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි රජයේ ප්‍රමුඛ රෝහල්වල ඔවුන් සඳහා වන විශේෂ වාට්ටු ස්ථාපනය කිරීම, එවැනි වාට්ටුවලට ඇතුල් වන විට අග්‍රහාර රක්‍ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීම ආදි යෝජනා කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වී තිබේ.

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතා සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති අමාත්‍ය මණ්ඩලය බොහෝ විශ්‍රාමිකයින්ගේ මාසික වැටුප රුපියල් 20,000ට අඩු අගයක් ගන්නා බව විශේෂ අවධානයකට ලක් කොට ඇත. එබැවින් විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට සුදුසු යෝජනා ඉදිරිපත් කරන ලෙස ජාතික වැටුප් කොමිසමට දැනුම්දීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව අගමැති කාර්යාලය කියයි.

Rivira FB Group Rivira Youtube
To Top