,
2020 General Election

සමගි ජනබලවේගයට තවත් පරාජයක්, පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයත් මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

(RIVIRA.LK, 2020 ජුලි 22 පස්වරු 08.33ට)

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජනබලවේගය නම් පක්ෂයක් යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වූ සාමාජිකයින් 99 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට එක්සත් ජාතික පක්ෂය විසින් තීරණය කර තිබුණි.

එජාපයේ එම තීරණයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම දිසා අධිකරණය මගින් ඉවත දැමීය.

ඒ අනුව පසුව දිසා අධිකරණයෙන් ලබා දුන් තීන්දුවට අභියෝග කරමින් සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ අභියාචන පෙත්සමක් ගොනු කර තිබුණා.

සමගි ජනබලවේගයේ මහලේකම්වරයා එම අභියාචනය මගින් ඉල්ලා සිටියේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය ජූනි 22 දින ලබාදුන් තීන්දුව බලරහිත කරන ලෙසයි.

එම අභියාචන පෙත්සම කැඳවූ අවස්ථාවේ දී පෙත්සමට එරෙහිව කරුණු දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ සමගි ජනබලවේගය නැමති පක්ෂයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය කිසිදු අවස්ථාවක අනුමැතියක් ලබානොදුන් බවයි.

ඒ අනුව සියලු කරුණු සළකා බැලීමෙන් පසු අභියාචන පෙත්සම ද විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ සිවිල් අභියාචන මහාධිකරණය ජූලි 21 දින තීරණය කළා.

මේ අනුව තීන්දුව ලබා දෙමින් සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් සහ මොහොමඩ් ලාෆීර් යන ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අභියාචන පෙත්සම සඳහා නඩු ගාස්තු වශයෙන් රුපියල් 25,000ක මුදලක් ද ගෙවීමට ද නියෝග කළා.

එහිදී අදාළ පෙත්සම විභාගයට ගැනීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු අපොහොසත් වීමේ පදනම මත අභියාචන පෙත්සම ප්‍රතික්ෂේප කළ බව කොළඹ සිවිල් අභියාචන මහාධිකරණය දැනුම් දී තිබුණා.

වාරණ නියෝගයක් අයැද සිටීමේ දී පැමිණිලි පාර්ශ්වය විසින් අධිකරණයට සත්‍ය කරුණු අනාවරණය කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමින් වාරණය නියෝගයක් සදහා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය විසින් ජූනි 22 දින ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර තිබුණා.

Rivira Ads
To Top