දේශීය පුවත්

“උප්පැන්නෙන් ජාතිය ඉවත් කිරීමේ තීරණය” වහාම අත්හිටුවන්නැයි අගමැතිගෙන් නියෝග, ජාතිය රකින්න ඇමති විමල් සටනට

(RIVIRA.LK, 2020 ජුලි 23 පෙරවරු 10.59)

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් මහමැතිවරණයෙන් පසු නිකුත් කිරීමට නියමිත නව උප්පැන්න සහතිකයේ ශීර්ෂ දෙකක් ඉවත් කර නව උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට නියමිත බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා පසුගිය දා සඳහන් කර තිබුණා.

එහිදී මව්පියන් විවාහක ද යන ශීර්ෂය හා ජන වාර්ගය/ජාතිය ඇතුළත් ශිර්ෂයන් ඉවත් කර ඒ වෙනුවට සියලු උප්පැන්න සහතික “ශ්‍රි ලාංකික” යනුවෙන් පමණක් සටහන් කර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රෙජිස්ටාර් ජනරාල්වරයා සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් මව්පියන්ගේ විවාහක බව ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජයේ අතිමහත් බහුතරයක් කැමැත්තෙන් පසු වුවද “ජාතිය” ඉවත් කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු දක්වා තිබුණේ ඊට ප්‍රතිවිරුද්ධ මතයකි.

කෙසේ වෙතත් මෙම පුවත “රිවිර.lk” වෙබ් අඩවිය විසින් පළ කිරීමෙන් අනතුරුව සමාජය තුළ විශාල කතිකාවක් නිර්මාණය වී තිබුණි. ඒ සමගම එම පුවත අමාත්‍ය විමල් වීරවංශගේ අවධානයට ලක්ව ඇති අතර එවෙලේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කළ බව ජූලි 22 පස්වරුවේ පැවති රැස්වීමක දී ඔහු සඳහන් කළා.

ජනවර්ගය උප්පැන්නෙන් ඉවතට, සියලු දෙනා “ශ්‍රී ලාංකික” කරයි

එම අවස්ථාවේ දී අගමැතිවරයා, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව අයත් අමාත්‍යංශයේ ලේකම්වරයාට දුරකතන මාර්ගයෙන් අමතා පවසා ඇත්තේ එවැනි තීරණයක් ගෙන ඇත්නම් වහාම එය අත්හිටුවීමට පියවර ගන්නා ලෙසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් වීරවංශ මෙසේ කියා සිටියා.

“මම අද එනකොට දැක්කා සමාජ ජාලා තුළ තියෙනවා රෙජිස්ට්‍රාර් ජනරාල් කිව්වා කියලා, උප්පැන්න සහතිකයෙන් ජනවර්ගය ඉවත් කරන බව. අපේ ආණ්ඩුව ජාතියේ අක්මුල් සිදබිද දමන්න ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා රෙජිස්ට්‍රාර් ජනරාල් කවර කතා කියුවත් පරණ සංකල්ප අනුව යමින් ජාතිකත්වය සදහන් නොවන උප්පැන්න සහතික නිකුත් කිරීමට අපි ඉඩ තියන්නේ නැහැ”

“මම මේක ජනාධිපතිතුමාටත් කිව්වා, මොන නිලධාරියා පරණ සංකල්පවල ඉඳගෙන මොන බේගල් ඇද බාවත්, ඔය කියන ජාතියේ උප්පැන්න සහතික මේ නායකත්වය යටතේ කෙරෙන්නේ නැහැ” යැයි ද ඔහු කියා සිටියා.

“රිවිර.lk” මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර සොයා බැලීමක දී අනාවරණය වූයේ මෙය යහපාලන රජයේ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනගේ මූලිකත්වයෙන් ගත් තීරණයක් බවයි.

උප්පැන්න සහතික නිකුත් කිරීමේ දී සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් ජාතිය සටහන් කිරීම වෙනස් කර “ශ්‍රී ලාංකික” යනුවෙන් සටහන් කිරීම ආරම්භ කළ යුතු බවට වජිර අබේවර්ධන විසින් යාපනයේ චාවකච්චේරියේ දී 2018 සැප්තැම්බර් 28 දින පැවති උත්සවයකට සහභාගී වෙමින් පවසා තිබෙනවා. උත්සවයේ දී අදහස් දක්වමින් ඔහු කියා ඇත්තේ “කෙනෙක් උපදින අවස්ථාවේ දී උප්පැන්න සහතිකයෙන් ම සිංහල, දෙමළ, මුස්ලිම් කියලා වෙන් කරනවා. මේ ක්‍රමය නැවැත්විය යුතුයි. මේ විෂය තියෙන්නේ අපේ අමාත්‍යාංශය යටතේ. අපි අනාගතයේ දී උප්පැන්න සහතිකයේ ‘ශ්‍රී ලාංකික’ කියලා ලියන්න කටයුතු කරන්න ඕනෑ. අපි ජාති වශයෙන් බෙදෙන්නේ නැතිව හැමෝම මනුස්සයන් හැටියට වැඩ කළොත් පමණයි මේ රට දියුණු කරන්න පුළුවන් වෙන්නේ. අපි ශ්‍රී ලාංකිකයන් විදියට සිතිය යුතුයි. ශ්‍රී ලාංකිකයන් විදියට කටයුතු කළ යුතුයි.” යැයි සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ජන වර්ගය ඉවත් කිරීම සම්බන්ධයෙන් පළ වන වාර්තා නිවැරදි කරන ලෙසට අගමැතිවරයා ජූලි 22 පස්වරුවේ විෂයභාර අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබුණ ද මෙතෙක් ඊට අදාළව නිවැරදි කිරීමක් මාධ්‍ය වෙත ලැබී නැත.

Rivira FB Group Rivira Youtube
To Top