,
News

උප්පැන්නෙන් ජාතිය ඉවත් නොකෙරේ, නිල නිවේදනය මෙන්න

(RIVIRA.LK, 2020 ජුලි 23 පස්වරු 02.23)

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් මහමැතිවරණයෙන් පසු නිකුත් කිරීමට නියමිත නව උප්පැන්න සහතිකයේ ශීර්ෂ දෙකක් ඉවත් කර නව උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට නියමිත බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා පසුගිය දා සඳහන් කර තිබුණා.

එහිදී මව්පියන් විවාහක ද යන ශීර්ෂය හා ජන වාර්ගය/ජාතිය ඇතුළත් ශිර්ෂයන් ඉවත් කර ඒ වෙනුවට සියලු උප්පැන්න සහතික “ශ්‍රි ලාංකික” යනුවෙන් පමණක් සටහන් කර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රෙජිස්ටාර් ජනරාල්වරයා සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් මව්පියන්ගේ විවාහක බව ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජයේ අතිමහත් බහුතරයක් කැමැත්තෙන් පසු වුවද “ජාතිය” ඉවත් කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු දක්වා තිබුණේ ඊට ප්‍රතිවිරුද්ධ මතයකි.

කෙසේ වෙතත් මෙම පුවත “රිවිර.lk” වෙබ් අඩවිය විසින් පළ කිරීමෙන් අනතුරුව සමාජය තුළ විශාල කතිකාවක් නිර්මාණය වී තිබුණි. ඒ සමගම එම පුවත අමාත්‍ය විමල් වීරවංශගේ අවධානයට ලක්ව ඇති අතර එවෙලේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කළ බව ජූලි 22 පස්වරුවේ පැවති රැස්වීමක දී ඔහු සඳහන් කළා. එමගින් අගමැතිවරයා විෂයභාර අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර ඇත්තේ වහාම එවැනි තීරණයක් ගෙන ඇත්නම් එය අත්හිටුවන ලෙසයි.

ඒ අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මව්පියන්ගේ විවාහකභාවයට අදාළ තීරුව පමණක් ඉවත් කරන බවයි.

එමෙන්ම ජාතිකත්වය සහ ජාතිය වෙන වෙනම තීරු දෙකකින් ඇතුළත් කිරීමට අවස්ථාව සළසා ඇති බව ද එම නිවේදනයේ දැක්වේ. කෙසේ වෙතත් ඒ සමග ඔවුන් ඉදිරියේ දී ජනගත කිරීමට අපේක්ෂා කරන 2019 මාර්තු 14 දිනැති ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කළ ඩිජිටල් උප්පැන්න සහතිකයේ ආකෘති පත්‍රයක් ද අමුණා එවා තිබෙනවා.

නව ආකෘතියට අනුව උදාහරණයක් මෙසේ ය.

  • ජාතිකත්වය (Nationality) – ශ්‍රී ලාංකික
  • ජාතිය (Ethnicity) – සිංහල/දෙමළ/මුස්ලිම් හෝ එවැනි

ඒ අනුව ඉදිරියේ දී මෙලෙස නිකුත් කිරීමට නියමිත උප්පැන්න සහතිකය “ජාතික උප්පැන්න සහතිකය” ලෙස භාෂාද්වයෙන් නිකුත් කිරීමට තීරණය කළ බව එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටිනවා. ඒ අනුව සිංහල හෝ දෙමළ භාෂාවෙන් සහ ඉංග්‍රීසි පරිවර්තනයක් ද සහිතව අදාළ සහතිකය ජාත්‍යන්තර මට්ටමින් ඉදිරිපත් කළ හැකි සහතිකයක් ලෙස නිකුත් කෙරෙන බව සඳහන් කර තිබෙනවා.

http://rivira.lk/advertising/
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top