(RIVIRA.LK, 2020 ජුලි 23 පස්වරු 07.52)
රථ වාහන වැරදිවලට අදාළව රියදුරු බලපත්‍ර සඳහා ලකුණු දීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීරගේ අවධානය යොමුව තිබෙනවා.
පසුගිය දා නුගේගොඩ ගුවන් පාලම මතදී පෞද්ගලික බස්රථ දෙකක් සහ යුද හමුදා කැබ් රථයක් ගැටී සිදුවූ මාරක රිය අනතුර ඇතුළුව මෑතක සිදුවූ මාරාන්තික මාර්ග අනතුරු බොහෝමයකටම හේතුව වි ඇත්තේ රියදුරන්ගේ නොසැලකිලිමත්කම බව අනාවරණය වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කරනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජූලි 22 දින පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
මාර්ග අනතුරු වැලැක්වීම සදහා නීති දැඩි කළ ද දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහල යමින් තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
මාධ්‍ය හමුවේ දී ඇමතිවරයා මෙසේ ද කියා සිටියා.
“2009 වසරේ දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය යටතේ රියදුරු බලපත්‍රවලට ලකුණු දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබුණා.
නොසැලකිලිමත් බව නිසා සිදුවන මාර්ග අනතුරු වලදී එම රියදුරන්ට 0 සිට 24 දක්වා ලකුණු ලබාදීමට මෙම ක්‍රමය මගින් තීරණය කර තිබුණා. මාර්ග අනතුරු සිදුකළහොත්, එම ක්‍රමය යටතේ ලකුණු 24 සිට පහලට රියදුරන්ගේ බලපත්‍ර වලට ලැබෙන ලකුණු කැපීයාමක් සිදුවනවා. අවසානයේ ලකුණු 0 දක්වා කැපීගිය පසු රියදුරු බලපත්‍රය ඉබේම අහෝසි වෙනවා.”
“මෙම වැඩපිළීවෙල ක්‍රියාත්මක කිරීම සදහා රියදුරු බලපත්‍රයට විශේෂ චිපයක් ද ඇතුලත් කරන ලද නමුත් එම චිපය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපාංග පොලිස් ස්ථානවලට ලබාදීමට පසුගිය සමයේ පියවර ගෙන තිබුණේ නැහැ. එමනිසා මෙම ලකුණු ලබාදීමේ ක්‍රමය ඇණහිට තිබුණා.”
“නමුත් ප්‍රවාහනය සම්බන්ධ විශේෂඥයින්ගේ මතය වන්නේ, රියදුරාගේ නොසැලකිලිමත් බව නිසා සිදුවන අනතුරු වලක්වා ගැනීමට යොදාගත හැකි හොදම උපාය මාර්ග වන්නේ මෙම ලකුණු දීමේ ක්‍රමය බවයි.”
එබැවින් මෙම ක්‍රමය නැවතත් ආරම්භ කිරීමට අවධානය යොමු වී ඇති බව ද මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටියා.
කෙසේ වෙතත් මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසියට පූර්ණ බලය පැවරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව තම විරෝධය පළ කර තිබුණා. පොලීසියට එම බලය ලබා දීමට එරෙහි පිරිස් පෙන්වා දෙන්නේ රියදුරෙකු වැරදිකරුවෙකු බව අධිකරණයෙන් තීරණය කළ පසු ඒ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී අදාළ ලකුණු අඩු කිරීම සිදු කිරීම ආරම්භ කළ යුතු බවයි. එසේ නොවුනහොත් පොලීසිය සමග අනවශ්‍ය ගැටුම් ඇතිවන බවයි. එසේම රියදුරන්ව පොලීසිය විසින් අපහසුතාවයට පත් කිරීමට ඉඩ ඇති බවට ද ඔවුන් චෝදනා කර සිටිනවා.
රියදුරු බලපත්‍රයට ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම දැනටත් කළ හැකි බව ද රියදුරන් පෙන්වා දෙනවා. ඒ සඳහා පොලීසියට අදාළ උපකරණ තිබීම අත්‍යවශ්‍ය නොවන අතර අධිකරණයෙන් වරදකරු වූ විට අඩු කළ යුතු ලකුණු ප්‍රමාණය රියදුරු බලපත් අංකය සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දැනුම් දීම ප්‍රමාණවත් බව ඔවුන් පෙන්වා දෙනවා.

