(RIVIRA.LK, 2020 ජුලි 23 පස්වරු 09.40)
මින් ඉදිරියට කිතුල් රා පෙරීම සඳහා බලපත්‍ර අවශ්‍ය නොවන බවත්, බලපත්‍රයක් නොමැතිව ගස් මැදීම හා රා පෙරීම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු වරදක් නොවන බවත් වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා.
ගාල්ල, නෙළුව ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කෙරෙන මැතිවරණ ප්‍රචාරක රැළි සඳහා ජනාධිපතිවරයා සහභාගී වූ අවස්ථාව අතරතුර ජනතාව ඉදිරිපත් කළ ගැටළුවලට පිළිතුරක් ලෙස ජනාධිපතිවරයා පවසා සිටියේ එම ගැටළුවට විසඳුම් ලබා දීමට දැනටමත් උපදෙස් ලබා දී ඇති බවයි. එහිදී ජනතාව පෙන්වා දුන්නේ සුරාබදු වැටලීම් සහ පොලිස් වැටලීම් හේතුවෙන් කිතුල් කර්මාන්තය ඇණහිට ඇති බවයි.
මේ අනුව 2018 අංක 4 දරන සුරාබදු (සංශෝධන) පනත ප්‍රකාරව බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මැදීම හෝ කිතුල් ගසකින් රා නිස්සාරණය කිරීමට අවසර ලබාදීම සම්බන්ධව පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ උපදෙස් මාලාවක් ලබා දී තිබෙනවා.
ඒ අනුව අදාළ පනත මගින් කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර නොමැතිව සිදුකළ හැකි බව සඳහන් කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනාරත්න පෙන්වා දුන්නා.
එම තත්වය යටතේ වුවද කිතුල් කර්මාන්තයේ යෙදී සිටින තැනැත්තන් සම්බන්ධයෙන් දිගින් දිගටම නඩු ලබා ගැනීමට ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
ඒ අනුව පනත ප්‍රකාරව කටයුතු කරන ලෙසත් කිතුල් කර්මාන්තයේ යෙදී සිටින තැනැත්තන්ට එරෙහිව නඩු ලබා ගැනීමක් සිදු නොකරන ලෙසත්, වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

