,
Covid-19

පැනගිය කොරෝනා ආසාදිතයා අල්ලාගත් මෙහෙයුම, ත්‍රිරෝද රථ රියදුරෙකුත් නිරෝධායනයට කන්දකාඩු යවයි

(RIVIRA.LK, 2020 ජුලි 24 පස්වරු 12.51ට)

කොවිඩ්-19 ආසාදිතව මුල්ලේරියාව, අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පැනගිය කොරෝනා ආසාදිතයා, කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ආසන්නයේ සිටිය දී යුද හමුදා භාරයට ගෙන නැවතත් අයි.ඩී.එච්. රෝහල වෙත යොමු කර තිබෙනවා.

මෙලෙස අයි.ඩී.එච් රෝහලෙන් ජූලි 24 අලුයම 2ට පමණ පලා ගොස් ඇති කොරෝනා ආසාදිතයා කොළඹ කොටුව කෙලින් වීදියට පැමිණ ඇති අතර එතැන් සිට ජාතික රෝහල තෙක් ත්‍රීරෝද රථයකින් පැමිණ තිබෙනවා. අදාළ රෝගියා හමුවන විටත් සිය කුලී මුදල නොගෙවූ නිසා එම ස්ථානයේ ත්‍රිරෝද රථ රියදුරා ද සිට ඇති අතර ඔහුව ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පැන ගිය කොරෝනා ආසාදිතයා මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ සිට කොළඹ කොටුව කෙලින් වීදියට පැමිණි ආකාරය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය අසළට පැමිණි ආසාදිතයාව සැක කළ රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකු වහාම එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකුට දැනුම් දී සොයා බලා තිබෙනවා. එහිදී තමන් මුල්ලේරියාවෙන් පලා ආ පුද්ගලයා බව ඔහු විසින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමක් පැමිණ ඔහුව භාරයට ගෙන තිබෙනවා. පසුව සෞඛ්‍ය අංශවල මැදිහත් වීමෙන් ඔහුට ආරක්ෂක ඇඳුම් කට්ටලයක් අන්දවා යුද හමුදා අධීක්ෂණය යටතේ ගිලන් රථයක් මගින් ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහලට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ රෝගියා හඳුනාගෙන වහාම ආරක්ෂක අංශ වෙත දැන්වූ රෝහල් කාර්ය මණ්ඩල සේවකයින් දෙදෙනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ විශේෂ ඇගයීමකට ලක් වූ අතර ඔවුන්ට ශ්‍රි ලංකා පොලීසිය මගින් විශේෂ ත්‍යාගයක් ලබා දීමට ද කටයුතු කරනු ලබන බව සඳහන් කර තිබෙනවා.

IDH රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා යුද හමුදා භාරයට

Rivira Ads
To Top