(RIVIRA.LK, 2020 ජුලි 24 පස්වරු 01.47ට)
අම්පාර රෝහල ලොව හොඳම රෝහලක් බවට පත් කිරීමට නායකත්වය දෙමින් එම රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ලංකාතිලක ජයසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජූලි 22 පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
මිය යන විට විශේෂඥ වෛද්‍යවරයා 52 වියේ පසු වී ඇත. ඔහු මාතර කඩවැද්දුව දී උපත ලබා ගාල්ල මහින්ද විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය අවසන් කර පසු සෝවියට් රුසියාවේ දී වෛද්‍ය අධ්‍යාපනය ලබා ගත් අයෙකි. 1994 දී වෛද්‍යවරයෙකු ලෙස සේවයට එක් වූ ඔහු විශේෂඥ වෛද්‍යවරයකු වශයෙන් මෙරට රෝහල් ගණනාවක සේවය කර අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස පත් ව තිබෙනවා.
එහි දී ඉතාමත් නොදියුණු මට්ටමක පැවති අම්පාර රෝහල ලොව හොඳම රෝහල බවට පත් කිරීමට පුරෝගාමී මෙහෙවරක නිරත වූ වෛද්‍යවරයෙකු මෙන්ම දක්ෂ පරිපාලකයෙකු ලෙස ද ලංකාතිලක ජයසිංහ මහතා සැළකෙනවා.
2014 වසරේ ලෝකයේ හොඳම රෝහලට ප්‍රදානය කරන ජාත්‍යන්තර සම්මානය අම්පාර මහ රෝහලට දිනා ගැනීමට ඔහුගේ නායකත්වයෙන් යුත් රෝහල සමත් ව තිබෙනවා. එම සම්මානය ප්‍රදානය කරන්නේ ඇමරිකාවේ සෞඛ්‍ය සහ ඵලදායිතා කළමානාකරණය පිලිබඳ ආයතනය විසින්. රෝහලෙන් සැපයෙන ප්‍රතිකාර සහ එහි ඉහල මට්ටමේ රෝහල් පරිපාලනය ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන මෙම සම්මානය පිරි නමා තිබෙනවා. වාර්තා වන තොරතුරු අනුව ඔහුගේ නායකත්වයෙන් දියුණු කෙරුණු අම්පාර රෝහල අවස්ථා කිහිපය දී ම සම්මානයට හා ඇගයීමට පාත්‍ර වී තිබෙනවා.
වෛද්‍යවරයෙකු ලෙස කළ සේවයට අමතරව ගීත රචකයෙකු ලෙස ගීත කිහිපයක් ම නිර්මාණය කර ඇති ඔහු ඡායාරූපකරණයේ ද නිරත වූ කලාකරුවෙකු ලෙස ද සැළකෙනවා. සේවයටම කැප වී සිටීම හේතුවෙන් විවාහ වී නොමැති අතර තනිකඩව සිය ජීවිතය ගත කර තිබෙන බව සඳහන්.
2018 වසරේදී ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා විශේෂඥ වෛද්‍යවරයා අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඇති අතර පසුගිය දා සුවය ලබා නිවසට ද පැමිණ තිබුණා. එහිදී යළි අසනීප වී ඇති අතර පසුව ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය ගිය විශේෂඥ වෛද්‍යවරයාගේ දේහය පන්නිපිටියේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ජූලි 25 දින ඔහු සේවය කළ අම්පාරේ දී සිදු කිරීමට නියමිතයි.

