(RIVIRA.LK, 2020 ජුලි 24 පස්වරු 09.18ට)
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජනබලවේගය නම් පක්ෂය යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වූ සාමාජිකයින් 99 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් සමගි ජනබලවේගයේ මහලේකම්වරයා ගොනු කළ පෙත්සම් දෙකක් අධිකරණයෙන් ප්‍රතික්ෂේප විය.
මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය තවත් ඉහළ අධිකරණ වෙත යෑමට අපේක්ෂා කරන බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජූලි 22 දින වැල්ලවායේ පැවති ජන හමුවක දී එක්සත් ජාතික පක්ෂ නායක, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදහස් පළ කළා.
හිටපු අගමැතිවරයා කියා සිටින්නේ ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අවසන් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට හෝ සක් දෙවිඳුන් හමුවට වුව ද යා හැකි බවයි. එහෙත් කිසිඳු අයුරකින් එම තීරණයේ වෙනසක් නොවන බව රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මෙසේ ද කියා සිටියා.
“පක්ෂ දෙකක ඉන්න බෑ. ඒ අය ඒක විසඳගන්න උසාවි ගියා. මම නෙමෙයි උසාවි ගියේ. මුලින් දිස්ත්‍රික් උසාවියේ බඩ ගෑවා. ඊට පස්සේ ඒක පැරදුනාම ගියා සිවිල් අභියාචන මහාධිකරණයට. දැන් එකෙනුත් පැරදිලා තියෙද්දි කියනවා යනවලු ඊළඟ එකටත්. මං ඉතින් කිව්වා කමක් නෑ, ජාත්‍යන්තර උසාවියටම හරි යන්න, සක්‍ර දේවේන්ද්‍රයන් ළඟට හරි යන්න. කොහෙ ගියත් ලැබෙන ප්‍රතිඵලය නම් එකයි. මොකද මමත් නීතිඥයෙක් නේ. කොහොමත් මේ තීරණය නම් වෙනස් වෙන්නෙ නෑ.”
“ඊළඟට කියනවා සිරිකොත අල්ලනවලු. මම ඒක බාර දෙනවා පොලීසියට. අනෙක මේගොල්ලො කියන්නේ ඡන්දෙ පස්සේ ගෙවල්වලට ගහන්නලු. කවුද එහෙම කතා කියන්නේ. අනිත් හැම පක්ෂයක්ම කතා කරන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම ගැන. කොහොමත් පක්ෂ දෙකක ඉන්න බෑ. එක පක්ෂයක් තෝරාගන්න ඕනේ. උසාවියත් ඒක පිළිගෙන තියෙනවා.”
පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයත් මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි (සිවිල් අභියාචන මහාධිකරණ තීන්දුව)
එජාප සාමාජිකත්වය අත්හිටුවීම: සජබය ඉල්ලූ වාරණ නියෝගය ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි (දිසා අධිකරණ තීන්දුව)

