අධ්‍යාපනය

ජීව විද්‍යා දේශක තිස්ස ජනනායකගෙන් අධ්‍යාපන ඇමති ගැන සහතිකයක්

(RIVIRA.LK, 2020 ජුලි 27 පෙරවරු 11.49ට)

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙනුවෙන් පෙනී සිටින බවට උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ගුරුවරුන් විසින් තමන් වෙත එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ජීව විද්‍යාව පිළිබඳ ජනප්‍රිය පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක පිළිතුරු දී තිබෙනවා.

විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විශේෂ පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

එහිදී , වත්මන් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම දේශපාලඥයෙකු වශයෙන් ඉතාමත් නිහතමානී පුද්ගලයෙකු බව තිස්ස ජනනායක පවසනවා. එමෙන්ම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති ගැටලු පිළිබඳව ඉතාමත් විවෘතව අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ හැකි බවත් දරුවන් පිළිබඳ තීරණ ගැනීමේදී ඊට අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් ඉතාමත් යහපත් ආකාරයෙන් ගණුදෙනු කළ හැකි එවන් දේශපාලඥයෙන් තමන්ට මිට පෙර මුණගැසී නොමැති බවත් පවසනවා.

ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය පිළිබඳ ගැටළුව

මීට අමතරව, පසුගිය වසරේ පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ දී ජීව විද්‍යා විෂය සඳහා පෙනී සිටි දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන්, විභාග දෙපාර්තුමේන්තුවෙන් මෙන්ම ජාතික අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අසාධාරණයක් සිදු වූ බවත් ඔහු පවසනවා. ඒ, එම අදාළ විභාගය පැවැත්වීමට මාස දෙකක් තිබියදී පවා අදාළ විෂය කරුණුවල පරාසයන් පිළිබඳව නිර්දේශයන් වලට අදාළ සම්පත් සිංහලෙන් ලබා දී නොතිබීම හේතුවෙන් ය.

එම අර්බුදය පිළිබඳව එවක පැවති රජයේ අදාළ නිලධාරීන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම පාර්ලිමේන්තුවේ හිටපු ඇතැම් ඇමතිවරුන් ද දැනුවත් කළ නමුත් ඒ සඳහා විසඳුමක් ලබා දීමට එම රජයෙන් අවම වශයෙන් සාකච්ඡාවක් හෝ ලබා නොදුන් බව තිස්ස ජනනායක පවසනවා. එමෙන්ම, ඒ අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක් වූ සිසිර ජයකොඩි අදාළ ගැටලුව පිළිබඳව පාර්ලිමේන්තුවේදී හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු පැවසුවේ, ‘ටියුෂන්කාරයින්ට ඕනේ විදියට විෂය නිර්දේශ හදන්නේ නැති’ බවත්තිස්ස ජනනායක පවසනවා.

එහිදී , ගැටලුව ඇත්තේ ටියුෂන් කාරයින්ට අවශ්‍ය පරිදි විෂය නිර්දේශයන් සැකසීම නොවන බවත් ‘ටියුෂන්කාරයින් ප්‍රශ්නය මතු කළ ද ප්‍රශ්නයට මුහුණ දෙන්නේ ළමයින් ‘ බවත් තිස්ස ජනනායක පවසනවා. මෙම ජීව විද්‍යා විෂය නිර්දේශයේ සම්පත් සහිත පොත කලට වේලාවට ලබා නොදීම පිළිබඳව බස්නාහිර පළාතේ ජීව විද්‍යා විෂය උගන්වන ගුරුවරුන් විසින් නඩුවක් ගොනු කළ බව ද ඔහු එහිදී පැවසුවා. කෙසේ නමුත්, එම නඩුව ගොනු කළේ තමන් විසින් බවට කට කතා පැතිරෙන නමුත් තමන් එහිදී ඔවුන්ට නඩු ගාස්තු ගෙවීමට නොහැකි වෙද්දී නඩු ගාස්තු ගෙවීමට පමණක් උපකාර කළ බව ද තිස්ස ජනනායක පැවසුවා. අදාළ නඩුවේ තමන්ගේ නමවත් නොමැති බවත් ඔහු කියා සිටියා.

මෙම විෂය නිර්දේශ ගැටලුව පිළිබඳව ඔහු මෙසේ ද පැවසුවා. ‘ සිලබස් එකක ගැටලුවක් තියෙන්න තියෙන්න ටියුෂන්කාරයට තමයි හොඳ. අපිට පුළුවන් මේක හදලා උගන්නන්න. ඒත්, අපි මේ උගන්නන්නේ ලංකාවේ සීමිත ළමයි පිරිසකට පමණයි. මේක මේ 40,000ක් පමණ ළමයි පිරිසකට බලපාන ප්‍රශ්නයක්. නමුත්, මේක පිළිබඳව කිසි කෙනෙක් කතා කළේ නැහැ.’

මෙම ගැටලුව පිළිබඳව නව අධ්‍යාපන අමාත්‍යවරයා පත් වුන වහාම තමන් ඔහුව දැනුවත් කළ බවත්, අමාත්‍යවරයා විසින් ඔවුන්ගේ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට සැසිප් ආයතනයට පැමිණීමට තරම් නිහතමානී වු බවත් තිස්ස ජනනායක පවසනවා. දරුවන් වෙනුවෙන්, එසේ පැමිණීම පිළිබඳව අමාත්‍යවරයාට ස්තූතිවන්ත විය යුතු බවත් ඔහු පවසනවා.

මේ පිළබඳව අදහස් දක්වමින් ඔහු, ‘නව අධ්‍යාපන ඇමති ඒ කියන්නේ, ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පත්වෙච්ච වහාම මං එතුමාට කතා කරලා කිව්වා. අපි ඔබතුමාලගෙන් පෞද්ගලිකව කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙන්න මේ ජීව විද්‍යා විෂය නිර්දේශයේ බරපතල අර්බුදයක් තියෙනවා. මගේ පෞද්ගලික මතය නෙමෙයි. මේ ගැන යමක් කරන්න ඕනේ කියලා. අන්න එතකොට එතුමා කිව්වා මං තාම අධ්‍යාපන ඇමති වෙලා දවස් 12යි. මම මේ ගැන වැඩිය විස්තර දන්නේ නැහැ. නමුත්, අපිට එතුමා අවස්ථාවක් ලබා දුන්නා. ළමයි, දෙමව්පියෝ, ජීව විද්‍යා ගුරුවරු සමඟ සාකච්ඡා කරන්න. එතුමා, අපිව එහේ අමාත්‍යාංශයට ගෙන්නුවේ නැහැ. එතුමාට අපි කිව්වා සැසිප් ආයතනයට එන්න කියලා. ඒ කියන්නේ පෞද්ගලික ටියුෂන් පන්තියකට එන්න කියලා. මං හිතන්නේ මේ රටේ පෞද්ගලික ටියුෂන් පන්තියකට තමන් අධ්‍යාපන ඇමති දරන කාලයේ එන්න තරම් එතුමා නිහතමානී වුනා.

අපි දේශපාලන මතවාද මොනවා තිබුණත් එතුමා ඒ ආවෙ ළමයි වෙනුවෙන්, මං වෙනුවෙන් නෙමෙයිනේ ආවේ.ළමයින් වෙනුවෙන් නෙහ් ආවෙ. ඒ පැමිණීම වෙනුවෙන් එතුමාට ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඒක ඉතාමත් වැදගත් කරුණක්. ඒ වගේම, එතුමා ඒකට සාධාරණ විසඳුමක් ලබා දීමට වෙනම මණ්ඩලයක් පත් කළා’ යැයි පැවසුවා.

උසස් පෙළ විභාගය කල් දැමීම

එමෙන්ම, විභාගය පැවැත්වීම සාධාරණ කාලයක් කල් දැමීමට ද අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් ඉල්ලූ අවස්ථාවේදී රටේ ඇතැම් අය’ රටේ ටියුෂන්කාරයන්ට ඕනේ ආකාරයට ද විභාග තියන්න ඕනේ ?’ යැයි පැවසූ බවත් ඔහු පැවසුවා. තමන්ට විභාගය කල් ගියත් නැතත් පලක් නොවන බවත් තමන් මේ වන විට විෂය නිර්දේශයන් ආවරණය කර ඇති බවත් තිස්ස ජනනායක පවසනවා. එමෙන්ම, මේ වසරේ දී විභාගයට බාධාවක් සිදු වුවහොත් ලබන වසරේ දී පුනරීක්ෂණ පන්ති සඳහා ළමුන් ප්‍රමාණය වැඩි වෙන බවත් එයින් තමන්ට සිදු වන්නේ වාසියක් පමණක් බවත් ඔහු පවසනවා.

එහිදී, ඔහු’ මිනිසුන් යම් යම් ප්‍රකාශ කරන විට, එකක් කුහකකමින් ප්‍රකාශ කරන්න හොඳ නැහැ. දැන් එතුමාට ඒක කිව්වාම කිව්වේ, හරි අපි ළමයින්ගෙන් රජයේ පාසල්වල අයගෙන් අහලා බලලා සැලකිය යුතු කාල සීමාවක් ලබා දෙනවා කියලා. ඊළඟට අපි කිව්වා ජීව විද්‍යාව විෂය නිර්දේශයේ තිබෙන ගැටලුව නිසා ප්‍රශ්න සංඛ්‍යාව, රචනා ප්‍රශ්න සංඛ්‍යාව වැඩි කරන්න කියලා. එතුමා එයටත් එකඟ වුනා.

උපකාරක පන්තියකට සහභාගී විය හැකි සිසුන් ගණන

ඒ විතරක් නෙමෙයි, ජනාධිපතිතුමා හම්බවෙන්න ගිය අවස්ථාවේ දී, ටියුෂන් ගුරුවරු එතනදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා ඉදිරිපත් කළේ ළමයි 250යි උපරිම. ඊට වැඩිය අවසර දෙන්න බැහැ කියලා. නමුත්, ඒ වෙලාවේ ගියපු ගුරුවරුත් තුෂ්නීම්භූතවෙලා බලා ඉන්න වෙලාවේ, අධ්‍යාපන ඇමතිතුමා තමයි යෝජනා කළේ, ජනාධිපතිතුමාට පක්ෂවල සංවිධානය කරන රැස්වීම්වලටත් 500ක උපරිමයක් දෙන නිසා ගරු ජනාධිපතිතුමනි, මේ අපේ ගුරුවරුන්ටත් ඒ අවස්ථාව දෙමු කියලා.

හැබැයි පක්ෂ පාට කණ්නාඩිවලින් බලන කෙනෙකුට එතුමා ඒ වෙනුවෙන් කරපු දේවල් මුකුත් පේන්නේ නැතිවා වෙන්න පුළුවන්. ඒක කුහකකම. දේශපාලන කුහකකම. මට එතුමාගෙන් පෞද්ගලිකව ලබා ගන්න පුළුවන් මුකුත් ප්‍රතිලාභයක් නැහැ. මොනවත් වරප්‍රසාද, රැකියා, කොමිස් ටෙන්ඩර් ඒවා එකක්වත් මට පෞද්ගලිකව ලබා ගන්න දෙයක් නැ. මා එතුමා සමඟ ක්‍රියා කළේ, කටයුතු කළේ, අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට, අපේ දරුවන්ට සහ අපේ ටියුෂන් ක්ෂේත්‍රයට යම්කිසි ප්‍රතිලාභයක් ලබා දෙන්න මිසක් පෞද්ගලික දෙයකට නෙමෙයි.

සෙනසුරාදා සහ ඉරිදා පාසල් පැවැත්වීම නතර කිරීම

එමෙන්ම, රටේ සමහර ටියුෂන් ගුරුවරු වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයාට ඉතාමත් නිර්දය ලෙස බැන වදින නමුත් කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් සෙනසුරාදා සහ ඉරිදා දිනයන් හී දී පාසල් පැවැත්වීමට යෝජනාවක් පැමිණි අවස්ථාවේ දී එය නතර වුයේ ද වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ළමුන් එම දිනයන්හී දී පෞද්ගලික උපකාරක පන්ති වලට සහභාගී වන බව පැහැදිලි කළ නිසාවෙන් බව නොදන්නා බවත් තිස්ස ජනනායක පවසනවා.

‘මේ කිසිදෙයක් ගැන සුබවාදීව හිතන්නේ නැතිව එතුමාට දේශපාලන කුහකකමින් ප්‍රහාර එල්ල කරන එකට ඇත්තටම ටියුෂන් ගුරුවරු විදියට දෙවතාවක් හිතලා බලන්න ඕනේ’ යැයි ඔහු එම වීඩියෝවේ සඳහන් කරයි.

ඩලස් වැනි නිහතමානී දේශපාලනඥයෙක් අධ්‍යාපන ඇමතිවරයා වීම

එසේම, වත්මන් අධ්‍යාපන ඩලස් අමාත්‍යවරයා තමන් දැක ඇති, කතා කර ඇති ඉතාමත් නිහතමානී ගුණය සහිත දේශපාලඥයෙක් බවත් එවන් ගුණයක් සෑම දේශපාලඥයෙකු තුළම පිහිටන්නේ නැති බවත් ඒ හේතුව නිසාවෙන් තමන් මෙම ප්‍රකාශය කිරීමට පෙළඹුුණු බවත් තිස්ස ජනනායක පවසනවා. එබැවින් එවැනි පුද්ගලයෙක් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් වී සිටීමම විශාල භාග්‍යයක් බවත් ඔහු සඳහන් කළා.

ඒ පිළිබඳව පවසමින් තිස්ස ජනනායක විසින් ‘මං ඉතාමත් පැහැදිලිවම කියන්න ඕනේ, ලංකාවේ මං දැක්ක, මං කතා කරපු අධ්‍යාපන ඇමතිවරුන්ගෙන් සහ දේශපාලඥයින්ගෙන් අපිට කෙළින්ම කතා කරලා යමක් කියන්න තරම්, එතුමා ඒක අහන්න තරම් නිහතමානි ගුණ එතුමාගේ තිබුණා. අන්න ඒ නිහතමානි ගුණය ගැන තමයි මං මේ කතා කරන්නේ. හැම දේශපාලඥයෙකුටම ඒ ගුණය පිහිටන්නේ නැහැ.

සමහර දේශපාලඥයෝ ඉන්නවා. අපිට එක වචනයක්වත් ඒගොල්ලො එක්ක කථා කරන්න බැහැ. ඔබතුමන්ලා ඒක දන්නවානේ. ඉතින් ඒක නිසායි මේ ප්‍රකාශය මං කරන්න කියලා හිතුවේ.එතුමා වෙනුවෙන්. එවැනි පුද්ගලයෙක් අධ්‍යාපන අමාත්‍යවරයා විදියට පත් වී සිටීමම අපිට ලොකු භාග්‍යයක් වුනා.’ යැයි ද සඳහන් කරයි.

– කේෂලා ප්‍රනාන්දු (රිවිර.lk)

Rivira FB Group Rivira Youtube
To Top