දේශීය පුවත්

යහපාලන රජය සමයේ දී රු. බිලියන 11ක මූල්‍ය අවභාවිතයක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ බව හෙළි වෙයි

(RIVIRA.LK, 2020 ජුලි 28 පස්වරු 06.21ට)

මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් එල්ල වූ දූෂණ චෝදනා සහ මූල්‍ය අවභාවිතාවන් පිළිබඳව සොයාබැලීමට පත්කළ කමිටුවේ වර්තාව ජූලි 28 දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත බාර දී තිබෙනවා.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ, හිටපු කැබිනට් අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න සහ නීතිඥ හරිගුප්තා රෝහණධීර එම කමිටුවේ සාමාජිකයින් වේ.

දේශපාලනික වශයෙන් අනිසි ලෙස සේවකයින් බඳවා ගැනීම, විවිධ ව්‍යාපෘති හරහා මුදල් අවභාවිතා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් එල්ල වී තිබුණා.

ඒ අනුව සිදුකළ විමර්ශනයට අනුව කමිටුව විසින් සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ 2016 වසරරේ සිට 2019 නොවැම්බර් මස දක්වා වූ කාලසීමාව තුළ දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක බරපතල මූල්‍ය අවභාවිතාවක් සිදුව ඇති බවයි.

අවභාවිත කර ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 11,059 ක් බව එම කමිටුව අනාවරණය කර ගෙන තිබේ. එය එම වාර්තාව මගින් පහත පරිදි බෙදා දක්වා ඇත.

  1. නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පත් ආපසු ගැනීමේ හා තැන්පත් පොළිය ආදායම් අහිමිවීමෙන් රුපියල් මිලියන 2,608ක් ද,
  2. නීත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 753ක් ද,
  3. සංචාරක ප්‍රවේශපත්‍රවල ඩොලර් ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී සිදුවූ අලාභය ලෙස රුපියල් මිලියන 48ක් ද,
  4. පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 2,266ක් ද,
  5. අපේ ගම ව්‍යාපෘතියේ දේපල පැවරීමේදී සිදු වූ අලාභය රුපියල් මිලියන 8ක් ද,
  6. විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර හා ප්‍රදාන ලෙස ලබාදුන් රුපියල් මිලියන 2,316ක් ද,
  7. බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම් සඳහා වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 3,060ක් ද, අවභාවිතා වී ඇති බව එම කමිටුව විසින් අනාවරණය කර තිබෙනවා.

මේ අනුව අරමුදල තුළ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කමිටුව නිර්දේශ කර තිබෙන බව අග්‍රාමත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා.

මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ඇති ඩොලර් ගිණුමෙන් ද නීති විරෝධීව මුදල් නිදහස් කරගෙන ඇති බව අනාවරණය කරගෙන ඇති අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ දී පමණක් එම ස්ථාවර ගිණුමෙන් රුපියල් මිලියන 400ක් කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කර ගෙන ඇති බවද කමිටු වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා.

මහා භාණ්ඩාගාරයේ නියමිත අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ජංගම ගිණුම් 25ක් අලුතින් අරඹා ඇති අතර, මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනිම්, විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවිම් සඳහා පසුව ලේඛන සකස් කර ඇති බව ද කමිටුව මගින් අනාවරණය කරගෙන තිබෙනවා.

‍එසේම 2019 වසර පුරා එලෙස සිදු කළ අවිධිමත් වියදම් සඳහා අනුමැතිය ලබාගැනීමට ජනාධිපතිවරණයට දිනයකට පෙර, එනම් 2019.11.15 දින අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති බව ද කමිටු වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා. එහෙත් අදාළ රැස්වීමට සහභාග වී ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු පමණක් වුව ද සහභාගි නොවූ සෙසු සාමාජිකයින්ගේ අත්සන් ද ඊට ලබාගෙන ඇති බව ද කමිටුව විසින් හෙළිදරව් කර තිබෙනවා.

එම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ නිත්‍යානුකූලභාවය පිළිබඳව විශාල සැකයක් ඇති බැවින් අදාළ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට අදාළව ලබාගෙන ඇති අත්සන් රජයේ රස පරීක්ෂක හරහා තහවුරු කරගැනීම සුදුසු බවද කමිටුව පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම මෙම වාර්තාව පදනම් වී ඇත්තේ 2016 වසරේ සිට 2019 නොවැම්බර් මාසය දක්වා පමණක් වන අතර පසුගිය යහපාලන රජය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලට අනිසි ලෙස සේවකයන් බඳවා ගැනීම හරහා එලෙස බඳවාගත් පිරිසට වැටුප් ගෙවීමට මේ දක්වා රුපියල් මිලියන 7,000කට වඩා වැය වී ඇති බව ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී එහි වත්මන් අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය ගාමිණී අධිකාරි විසින් අනාවරණය කර සිටියා.

යහපාලන රජය, මධ්‍යම සංස්කෘතික අරමුදලට කළ විනාශය ගැන අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ හෙළිදරව්වක්

Rivira FB Group Rivira Youtube
To Top