(RIVIRA.LK, 2020 ජුලි 29 පෙරවරු 11.38ට)
2020 මහමැතිවරණයට අදාළ කාල සීමාව තුළ රූපවාහීනි, රේඩියෝ සහ අන්තර්ජාලය ඔස්සේ විශාල ලෙස මුදල් වැය කරමින් මහා පරිමාණ දේශපාලන ප්‍රචාරක කටයුතු සිදුවන බව නිරීක්ෂණය වේ.
මෙහිදී අන්තර්ජාල දේශපාලන ප්‍රචාරණ උපක්‍රම අතරින් වඩාත් ප්‍රකට ක්‍රමයක් වන්නේ දැවැන්ත පරිශීලකයින් පිරිසක් සිටින සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරණ කටයුතු සිදු කිරීමයි. එහිදී ෆේස්බුක් ආයතනය වෙත ඇති ආකර්ෂණය වඩාත් ඉහළින් තිබේ.
ඒ අනුව මෙවර ෆේස්බුක් ආයතනය මගින් දේශපාලනික හා සමාජමය වශයෙන් වැය කෙරෙන මුදල් සම්බන්ධයෙන් දැනගැනීමට පොදු මහජනතාවට අවස්ථාව සළසා තිබෙනවා. එමගින් ඒ ඒ අපේක්ෂකයින් ඍජුව සිය නමින් පවත්වාගෙන යන පිටු සඳහා කරන ප්‍රචාරණ වියදම් දැනගැනීමට ඡන්ද දායකයින්ට අවස්ථාව සැළසී තිබෙනවා. ෆේස්බුක් ඇතුළු විවිධ ප්‍රචාරණ ක්‍රම මගින් වසරක පිට රටට ඇදී යන මුදල මේ වන විට අති විශාල අගයක් ගන්නා අතර මැතිවරණ සමයක දී එම මුදල එකවර කිහිප ගුණයකින් ඉහළ යයි.
ෆේස්බුක් ආයතනය මගින් නිකුත් කළ දත්ත වාර්තා අනුව මෙවර මහමැතිවරණයට ප්‍රධාන දේශපාලන පක්ෂ 4ක නායකයින් වියදම් කළ මුදල මෙසේය.
- සජිත් ප්‍රේමදාස – ඇමරිකානු ඩොලර් 13,152 හෙවත් රු. මිලියන 2.5ක් පමණ
- අනුර කුමාර දිසානායක – ඇමරිකානු ඩොලර් 451 හෙවත් රු. 90,000ක් පමණ
- රනිල් වික්‍රමසිංහ – ඇමරිකානු ඩොලර් 350 හෙවත් රු. 70,000ක් පමණ
- මහින්ද රාජපක්ෂ – ඇමරිකානු ඩොලර් 253 හෙවත් රු. 50,000ක් පමණ
මෙහි දැක්වෙන්නේ ඒ ඒ දේශපාලන පක්ෂ නායකයින් සිය නිල ෆේස්බුක් පිටුව හරහා පමණක් සිදුකළ වියදමයි.
එසේම මෙරට දේශපාලනඥයෙකු මෙම කාල සීමාව තුළ සිදු කළ වැඩිම වියදම සිදුකර ඇත්තේ ද සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසයි.
ෆේස්බුක් සමාගමේ නිල දත්ත වාර්තා අනුව, 2020 මහ මැතිවරණයට අදාළ දැන්වීම් 19,717 ක් සඳහා ඇමරිකානු ඩොලර් 303,610ක් ශ්‍රී ලංකා අපේක්ෂකයින් විසින් වියදම් කර ඇත. එනම් රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් ජූලි 26 දින වන විට ඇමරිකාවේ ෆේස්බුක් ආයතනයට පමණක් ගෙවා ඇත.
ෆේස්බුක් ආයතනයේ දත්ත අනුව ෆේස්බුක් දැන්වීම් සඳහා වැඩිම මුදලක් වැය කර ඇති අපේක්ෂකයින් 10 දෙනා මෙසේය. පහත මුදල ඇත්තේ ඇමරිකානු ඩොලර් අගයෙන් වන අතර මේ වන විට ඇමරිකානු ඩොලරයක් සඳහා ෆේස්බුක් ආයතයට ගෙවිය යුතු ගණන රු. 190ක් පමණ වේ.
- සජිත් ප්‍රේමදාස – $13,152
- අංගජන් රාමනාදන් – $11,319
- කණිෂ්ක සේනානායක – $9,677
- වර්නන් ගුණරත්න – $8,240
- හර්ෂ ද සිල්වා – $7,090
- සුනේත්‍රා සමරකෝන් – $7,002
- විජයදාස රාජපක්ෂ – $5,531
- රාජපුත්‍ර වීරසිංහ – $4,750
- නිපුණ රණවක – $4,557
- අනුර ප්‍රනාන්දු – $4,347
මීට අමතරව බොහෝ අපේක්ෂකයින් ගූගල් හරහා ද දැන්වීම් ප්‍රචාරය කරනු ලබන බව නිරීක්ෂණය වේ.

