(RIVIRA.LK, 2020 ජුලි 30 පෙරවරු 11.31ට)
යහපාලන රජය සමයේ පවත්වාගෙන ගිය “ජාතික විධායක සභාව“ නැමැති කමිටුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කමිටුවක් බවත්, එය රාජපක්ෂවරුන්ට එරෙහිව වැඩ කිරීම පමණක් අරමුණු කරගනිමින් පිහිටවූවක් බවත් හිටපු අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ කියා සිටී.
“ජාතික විධායක සභාවේ ක්‍රියාකලාපය” හේතුවෙන් තමන් දේශපාලන පළිගැනීමකට ලක්වූ බව පවසමින් හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන වෛද්‍ය නිහාල් ජයතිලක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව, දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ජූලි 29 මේ බව සඳහන් කර තිබේ.
වෛද්‍ය නිහාල් ජයතිලකගේ පැමිණිල්ලට අනුව විධායක සභාවේ සාමාජිකයෙකු ජනාධිපති කොමිසම වෙත කැඳවා සාක්ෂි ලබාගත යුතු බව සභාපති විනිසුරුවරයා තීරණය කිරීමෙන් අනතුරුව ඒ සඳහා විජේදාස රාජපක්ෂට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.
එහිදී කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, තමන් එහි සාමාජිකයෙකු ලෙස නම් කර තිබුණ ද “ජාතික විධායක සභාවේ” කිසිඳු රැස්වීමකට තමන් සහභාගී නොවූ බවයි. ඒ එම කමිටුවේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් බවද විජේදාස රාජපක්ෂ පවසා තිබේ.
“ජාතික විධායක සභාව”, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, පාඨලි චම්පික රණවක, රාජිත සේනාරත්න, මංගල සමරවීර, සහ අර්ජුණ රණතුංග යන මැති ඇමතිවරු එහි සාමාජිකත්වය දැරූ බව විජේදාස රාජපක්ෂ කොමිසම හමුවේ අනාවරණය කර තිබේ.
යහපාලන කැබිනට් මණ්ඩලයේ සිටි මන්ද මානසික, වෛරයෙන් උමතුව දේශපාලන පළිගැනීම් කළ කල්ලියක් විසින් මෙසේ කැලෑ නීතිය රජ කරවන ආයතන පිහිටුවූ බවත් පෙන්වා දුන් විජේදාස රාජපක්ෂ, ඔවුන්ගේ එකම අරමුණ වූයේ රාජපක්ෂවරුන්ට එරෙහිව වැඩ කිරීම පමණක් බව ද කීවේය.
විධායක සභාවේ තීරණය මත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි ස්ථාපිත වූ “දූෂණ විරෝධි කමිටුව” නෛතික වලංගුභාවයක් නොමැති කමිටුවක් බවත් එය ක්‍රියාත්මක වූයේද කමිටුවක් ලෙස නොවන බවත් පෙන්වා දුන් විජේදාස රාජපක්ෂ, දූෂණ විරෝධී කමිටුව “රාජපක්ෂ විරෝධී කණ්ඩායමක්” වූ බව ද පැවසීය.
එසේම යහපාන රජය සමයේ දී තමන් අධිකරණ අමාත්‍යවරයාව සිටින කාලයේ, යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත් බවත්, එම අත්අඩංගුවට ගැනීම පිළිබඳ තමන් කිසිවක් දැන නොසිටි බවත් හිටපු අමාත්‍යවරයා සාක්ෂි දෙමින් පෙන්වා දී තිබේ.
එබැවින් ඒ සම්බන්දයෙන් තමන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් එම අවස්ථාවේ විමසූ විට ඒ සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බව සඳහන් කළ බව ද හිටපු අමාත්‍යවරයා කොමිසම හමුවේ සඳහන් කළේය. එහෙත් එවකට නීතිපතිවරයා වූ ජයන්ත ජයසූරියගෙන් තමන් ඒ පිළිබඳ විමසූ විට ඔහු ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව තමන් වෙත ප්‍රකාශ කළ බව ද විජේදාස රාජපක්ෂ කියා සිටී.
එසේම තමන්ට දැනගැනීමට ලැබුණු පරිදි එම තීරණය ගෙන ඇත්තේ ජාතික විධායක සභාවෙන් බවත්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු ප්‍රභූවරුන් 15 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය එම සභාව තීරණය කර තිබු බව විජේදාස රාජපක්ෂ ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කර තිබේ.
ඇමතිවරයා විශේෂයෙන්ම සඳහන් කර ඇත්තේ යහපාලන රජය සමයේ පැවති ජාතික විධායක සභාවේ ක්‍රියාකලාපය “කැළෑ නීතිය රජ කිරීමක්“ බවයි.
එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑම් කරමින් ස්වාධීන අධිකරණ පද්ධතියට හානි කරමින් ජාතික විධායක සභාවේ තීරණයක් මත ස්ථාපිත කළ “දූෂණ විරෝධී කමිටුව” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ, අපරාධ නීතිය උල්ලංඝනය කළ, අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතා විශ්වාසය පළුදු කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය නැති කළ කැලෑ නීතියක් බවත් විස්තර කළේය.

