දේශීය පුවත්

අත්අඩංගුවට ගත් ශානි අබේසේකරගෙන් තවමත් CCDය ප්‍රශ්න කරයි

(RIVIRA.LK, 2020 ජුලි 27 පස්වරු 1.55ට)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගෙන් මේ වන විටත් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ජුලි 31 වන සිකුරාදා දින උදෑසන 7.05ට පමණ ඇල්විටිගල මහල් නිවාස, මාතා පාර, කොළඹ 8 යන ලිපිනයේ දී ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් තිබුණි.

ජුලි 31 වන දින පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ චෝදනා කිහිපයක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ප්‍රසිද්ධ ව්‍යාපාරික මොහොමඞ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 2013 වසරේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

එම අවස්ථාවේ වාස් ගුණවර්ධන, අධිකරණය හමුවේ කියා සිටියේ එවක සහකාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ ශානි අබේසේකර තමා සමඟ ඇති පෞද්ගලික අමනාපයක් හේතුවෙන් තම පුත්‍රයා ද මෙම නඩුවට සම්බන්ධ කරගෙන ඇති බවයි.

2015 වසරේ නොවැම්බර් 27 වන දින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන සහ තවත් සිව් දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළේ ය.

එම සිද්ධියට අදාළව ගම්පහ, කළගෙඩිහේන ප්‍රදේශයේ සඟවා තිබූ ආයුධ තොගයක් සොයාගත් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එහෙත්, ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දී තිබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ ආයුධ සොයගත් නිවසේ හිමිකරු සහ ඔහුගේ භාර්යාව යළි අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් මීට පෙර ලබාදුන් සාක්ෂි අසත්‍ය බව දක්වා තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ ශානි අබේසේකර මහතා විසින් ම එම ස්ථානයට ආයුධ දමා ඒවා ඔහු විසින් සොයාගත්තේ යැයි කරුණු අනාවරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන්, පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ කරුණු අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Rivira FB Group Rivira Youtube
To Top