(RIVIRA.LK, 2020 ජුලි 31 පස්වරු 03.05ට)
එක්සත් ජාතික පක්ෂයෙන් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.
එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, උප නායක රවී කරුණානායක, සහ එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් යන පුද්ගලයින් නම් කර ඇත.
පැමිණිලිකාර රන්ජන් රාමනායක විසින් සිය පැමිණිල්ලෙන් පවසන්නේ සමගි ජන බලවේගය නැමැති සන්ධානය ස්ථාපිත කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බවයි.
සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් සාමාජිකයින් 102 අතරින් සාමාජිකයින් 54 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය පසුගිය දා හිමිවිය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් තේරි පත්වු පළාත් පාලන මන්ත්‍රීවරු 61 දෙනෙකුගේ ද පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට ද පසුගිය ජුලි 28 වන දා රැස්වු කෘත්‍යාධිකාරි මණ්ඩය තීරණය කර තිබේ.
එසේම, පක්ෂයේ විනය කඩ කළ සියල්ලන්ගේම නම් එම ලැයිස්තුවේ පවතින නමුත් එයින් කොටසකගේ පමණක් පළමු අදියර යටතේ සාමාජිකත්වය අහෝසි වීම සිදු කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

