කොවිඩ්-19

ලංකාපුර තවත් කොරෝනා ආසාදිතයෙක් හඳුනා ගනියි

(RIVIRA.LK, 2020 අගෝස්තු 01 පෙරවරු 08.16ට)

පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයෙන් පසුගිය ජුලි මස 30 වන දින කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට හඳුනාගත් ආසාදිතයාගේ බිරිඳටත් වෛරසය ආසාදිත බවට තහවුරු කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන මේ වන විට 2815 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය පී. සංජය පැවසුවේ, නිරෝධායන මධ්‍යස්ථානයක සිටිය දී ඇයට කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති බවයි.

මේ අතර, පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයාගේ ආශ්‍රිතයින් 158 දෙනෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. පසුගිය ජුලි 30 වන දින රාත්‍රියේ පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කළ අදාළ පුද්ගලයින් 158 දෙනාගේ එම වාර්තා ජුලි 31 රාත්‍රියේ ලැබී ඇති අතර එම වාර්තාවලින් ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇත. එම පිරිස අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාමාජිකයින්, ප්‍රදේශවාසීන්, ආසාදිතයාගේ ඥාතීන් මෙන්ම පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ද වන බව වාර්තා වේ.

එමෙන්ම, ලංකාපුර ආසාදිතයාගේ තවත් ආශ්‍රිතයින් හඳුනාගනිමින් ජුලි 31 වන දින පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි. ලංකාපුර ආසාදිතයා සමීපව ඇසුරුකළ පුද්ගලයින් සිටීනම් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය වෙත පැමිණ පී.සී.ආර් පරික්ෂණ සඳහා ඉදිරිපත් වන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය පී. සංජය මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මෙම කොරෝනා වෛරසය ආසාදිත කාන්තාව හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වූ සක්‍රීය ආසාදිතයින් ගණන 413ක් ලෙස සටහන් වේ. එමෙන්ම, ජුලි 31 වන දිනයේ ආසාදිතයින් 58 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළේ ය. ඒ අනුව, සුවය ලැබූ සමස්තය 2391ක් වේ.

Rivira FB Group Rivira Youtube
To Top