2020 මහමැතිවරණය

මැතිවරණ කොමිෂන් සභාවෙන් ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීම පිළිබඳව නිවේදනයක්

(RIVIRA.LK, 2020 අගෝස්තු 01 පස්වරු 12.40ට)

මේ මස 05 වැනි දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය සලකුණු කිරීම පිළිබඳව දැනුවත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන පරිදි, 2020.08.05 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්ද දායකයින්ට ස්වකීය ඡන්දය සලකුණු කිරීම සඳහා අවැසි නම් ඒ සඳහා තමන්ගේ පෑනක් භාවිතා කිරීමට අවකාශ ඇති අතර, එම පෑන නිල් හෝ කලු පැහැති බෝල තුඩු පෑනක් විය යුතු ය. තවද, එම ඡන්ද දායකයා විසින් රැගෙන එනු ලබන පෑන යම් පක්ෂයක් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු සලකුණක් / වර්ණයක් ලාංඡනයක් සහිත එකක් නොවිය යුතු බවත් එවැනි පෑන් ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන ඒමෙන් වළකින ලෙසත් එමඟින් නිවේදනය කර ඇත.

එමෙන්ම, යම් ඡන්ද දායකයෙකුට ඡන්දය ලකුණු කිරීම සඳහා තමාගේ පෑනක් ගෙන ඒමට හැකියාවක් නැති වුවහොත් එවැනි ඡන්ද දායකයන් සඳහා ඡන්ද මධ්‍යස්ඛානයේ දී විෂබීජහරණය කරන ලද බෝල තුඩු පෑන් සැපයීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ දැක්වේ.

මීට අමතරව, මැතිවරණ කොමිෂන් සභාව විසින් තවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වලංගු හැඳුනුම්පතක් වන රියදුරු බලපත්‍රයේ වලංගු කාලය ඉකුත් වී තිබුණ ද කොවිඩ් වසංගතය හේතු කොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව විසින් එවැනි බලපත්‍ර වලංගු කර ගැනීමට දී ඇති සහන කාලය ඉකුත්ව නැති රියදුරු බලපත්‍ර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් සේ සලකා ක්‍රියා කරන බවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව විසින් මාර්තු මස සිට ජුනි දක්වා කාලය ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා මාස 06 න කාලයකට සහ ජුනි මස සිට සැප්තැම්බර් දක්වා කාලය ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා මාස 03 ක කාලයකට සහන කාලයක් ලබා දී ඇත.

Rivira FB Group Rivira Youtube
To Top