අපරාධ වාර්තා

අංගොඩ ලොක්කාගේ දේහය ආදාහනය බව කියන 3ක් ඉන්දියාවේ දී අත්අඩංගුවට, කිසිවක් තහවුරු කළ නොහැකි බව මෙරට පොලීසිය කියයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 03 පස්වරු 05.52ට)

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාට උදව් කිරීම සඳහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු ඉන්දියාවේ කොයිම්බතූර් නගර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව “ද හින්දු” පුවත්පත අගෝස්තු 03 දින වාර්තා කර තිබෙනවා.

එම වාර්තාව මගින් පවසා ඇත්තේ “අංගොඩ ලොක්කා” නැමැත්තා කොයිම්බතූර්හිදී මිය ගොස් ඇති බවත් ඔහුගේ දේහය ජූලි මස මුලදී මදුරායිහි දී ආදාහනය කරන ලද බවයි.

ඔහුගේ මරණය මදුරෙයි වෙත ගෙනයාමට අවශ්‍ය පහසුකම් සළසා ගැනීම වෙනුවෙන් ඔහුගේ මරණය පොලිසියට වාර්තා කිරීමෙන් පසුව මෙම සියලු කරුණු අනාවරණය වූ බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

ඒ අනුව පොලීසිය විසින් කරන ලද විමර්ශනවලින් මදුරෙයිහි කාන්තාවක් සහ තිරුපූර්හි පිරිමි පුද්ගලයෙකු අංගොඩ ලොක්කාට සහ අමානි තංජි නම් ශ්‍රී ලාංකික කාන්තාවකට නීති විරෝධී ලෙස කොයිම්බතූර්හි සැඟවී සිටීමට උදව් කර ඇති බවත් ලියකියවිලි පවා ව්‍යාජ ලෙස සකස් කර දී ඇති බවත් අනාවරණය වූ බව සඳහන් කර ඇත.

කොළඹ පදිංචි අමානි තන්ජි නැමැති (27 හැවිරිදි කාන්තවක්, මදුරෙයිහි සිවකාමි සුන්දරි නැමැති 36 හැවිරිදි කාන්තාවක් සහ දැනට තිරුපූර් හි පදිංචි ඊරෝඩ් හි එස්. දෛනේස්වරන් නැමැති 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අංගොඩ ලොක්කාට ඉන්දියානු ජාතිකයෙකු ලෙස ලබා ගත හැකි “ආධාර්” කාඩ්පත ලබා ගැනීමට ද ඔවුන් උපකාර කර ඇති බව අනාවරණය වී ඇත.

එසේම අංගොඩ ලොක්කා ඉන්දියාවේ දී ප්‍රදීප් සිං යන නාමයෙන් පෙනී සිට ඇති බව ද කොයිඹතූර් පොලීසිය පවසයි. සාපරාධී කුමන්ත්‍රණ සහ ලේඛන ව්‍යාජ ලෙස සකස් කිරීම ඇතුළු චෝදනා යටතේ ඉන්දීය අපරාධ සංග්‍රහයෙ හි 120 බී, 177, 182, 202, 212, 417, 419, 466, 468 සහ 471 යන වගන්ති යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනු ඇති බව ද වාර්තා කර තිබෙනවා..

ඉන්දියානු පොලීසිය පවසන පරිදි සුන්දරී නැමැති තැනැන්තිය පසුගිය ජූලි 04 දින ඇගේ ඥාතියෙකු වන ප්‍රදීප් සිං හෘදයාබාධයකින් මියගිය බව පවසමින් පීලමඩු පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී සහෝදරයාගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා “ආධාර්” කාඩ්පතේ පිටපතක් ද පොලිස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඒ අනුව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම “ආධාර්” කාඩ්පත ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර ලබාගෙන ඇති බවයි. එසේම මියගොස් ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පලාගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා බවත් ඔහු අමානි සමග කොයිම්බතූර් හි නවාතැන් ගෙන සිටි බවත් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

කොයිඹතූර් පොලීසිය සඳහන් කරන්නේ පසුගිය ජුලි 03 දින පපුවේ අමාරුවක් බව කියමින් අමානි තංජි විසින් අංගොඩ ලොක්කාව පෞද්ගලික රෝහලකට ගෙන ගොස් ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇති බවයි. ඒ අනුව මෘත ශරීරය කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාලයේ රෝහල වෙත ගෙන ගොස් ඇති අතර එහිදී මරණ පරීක්ෂණය සිදු කරන ලද බව ද “ද හින්දු” පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒ අනුව ජූලි 04 දින පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය මදුරෙයි වෙත ගෙන යාම සඳහා අවශ්‍ය අවසර ලබාගැනීමට සුන්දරී නැමැත්තිය පොලීසිය වෙත ගොස් ඇති අතර එම අවසරය මත මදුරෙයි හී දී මෘත ශරීරය ආදාහනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ජනමාධ්‍ය බොහොමයක් තොරතුරු වාර්තා කර තිබෙන අතර දින කිහිපයකයට පෙර ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ්‍ය වාර්තා කර සිටියේ අංගොඩ ලොක්කා වස පානය කර ඇති බවයි. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනේ ඔහුට වස ලබා දී ඝාතනය කර ඇති බවයි. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙය ඔහු විසින් වෙනත් රටකට පැන යාමට ගෙතූ කතන්දරයක් බවයි.

කෙසේ වෙතත් මේ වන විට “අංගොඩ ලොක්කා”ගේ බව පැවසෙන මෘත ශරීරය ද ආදාහනය කර ඇති බැවින් මෙම තොරතුරු සම්පූර්ණයෙන්ම තහවුරු කළ නොහැකි අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ ජාලිය සේනාරත්න සඳහන් කළේ මෙවැනි තොරතුරු ලැබී තිබුණත් මෙතෙක් තහවුරු කළ හැකි කිසිඳු තොරතුරක් ලැබී නොමැති බවයි. එහෙත් ලැබී ඇති තොරතුරු ඔස්සේ පරීක්ෂණ සිදු කෙරෙන බව ද ඔහු සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top